බාල පිළිකා ඖෂධයක් ගෙන්වා බිලියන 3ක් ගසා කාලා

110

‘ට්‍රස්ටුසුම්බ’ නමැති පියයුරු පිළිකා නාශක ඖෂධය මෙරටට ආනයනය කිරීමේ දී රුපියල් බිලියන 3.8ක වංචාවක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳව පරීක්‍ෂණයක් ඉල්ලා ‘අල්ලස දූෂණයට එරෙහි පුරවැසි බලය’ ඊයේ (11දා) අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අසාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව මෙම බාල වර්ගයේ පියයුරු පිළිකා ඖෂධය මෙරටට ආනයනය කිරීමේදී අදාළ වංචාව සිදු කරමින් පිළිකා සඳහා භාවිත කළ ‘හර්සෙප්ටින්’ වෙළෙඳ නාමය යටතේ ගෙන්වූ ‘ට්‍රස්ටුසුම්බ’ ඖෂධය වෙනුවට රුසියාවේ නිෂ්පාදිත ‘ට්‍රස්ටුසුම්බ’ ඖෂධයට සමාන වූ ‘හරීට්කැඩ්’ වෙළෙඳ නාමයේ ඖෂධය ආනයනය කරමින් රජයේ රෝහල් වෙත මෙම ඖෂධය ලබාදී ඇතැයි ද එම පැමිණිල්ලේ දැක්වේ.

2015 සහ 2018 වසරවල දී මෙම ඖෂධ ගෙන්වීමේ වංචාව සිදුව ඇති බවත්, එයට වගකිව යුතු එවකට සෞඛ්‍ය ඇමැති, රාජිත සේනාරත්න, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති ලාල් ජයකොඩි ඇතුළු එවක හිටපු සෞඛ්‍ය බලධාරීන්ට එරෙහිව පරීක්‍ෂණයක් සිදුකර නිසි දඬුවම් ලබාදෙන ලෙස සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටින බව ‘අල්ලස දූෂණයට එරෙහි පුරවැසි බලය’ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා ‘දිවයින’ට පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment