බැසිල් ආපසු සටන දිගටම – එස්. එම්. චන්ද්‍රසේන (ශ්‍රීලපොපෙ)

115

විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ මහතා යළි පැමිණි විගස ඉදිරි මැතිවරණවලට අවශ්‍ය තීන්දු අරගෙන ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ‘දිවයින’ට අදහස් දක්වමින් පැවසීය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දාක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

පොදුජන පෙරමුණ මහා මැතිවරණයක් පැවැත්වුවත්, ජනාධිපතිවරණයක් පැවැත්වුවත් අපි ඒ දෙකටම සූදානම් වෙලා සිටින්නේ. අපේ සංවිධාන කටයුතු අපි නිසියාකාරව කරගෙන යනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි අද බිමේ තිබෙන ශක්තිමත්ම පක්ෂය. අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සංවිධායකත්වයෙන්, එතුමාගේ සැලසුම්සහගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. කොයි මැතිවරණය ප්‍රකාශ කළත් අපි ජයග්‍රහණය කරනවා. අපේ පක්ෂයේ නිර්මාතෘතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ දවස්වල විදේශ සංචාරයක යෙදිලා සිටින්නේ. එතුමා ආපු හැටියේ අපි ඒ අවශ්‍ය තීන්දු තීරණ නිවැරදිව අරගෙන ඒ කටයුතු කරනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ක්‍රියාකාරිත්වය සහ සංවිධායකත්වයට සම කරන්න කිසිම දේශපාලන පක්ෂයක නායකයෙක්, සංවිධායකයෙක් ඉන්නවා කියලා මා හිතන්නේ නැහැ.

තවම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න කාලය තිබෙනවා. ඡන්දය නිසි කාල සීමාවේ දී තිබෙනවා නම් මැයි මාසයෙන් පස්සේ ඡන්ද කටයුතු පටන්ගන්න ඕන. පක්ෂයක්, දෙකක් අපේක්ෂකයෝ නම් කරලා තිබෙනවා. නමුත් සන්ධාන හදන පිරිස තවම අපේක්ෂකයෝ තීන්දු කරලා නැහැ. ඒ නිසා එයට කාලය තිබෙනවා. අපි විතරක් නොවේ අනෙක් පක්ෂත් තමන්ගේ අපේක්ෂකයා තෝරාගන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. අපිත් අවශ්‍ය වෙලාවට අපේ අපේක්ෂකයා කවුද කියන එක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට ප්‍රකාශයට පත්කරන බවත් මන්ත්‍රීවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment