බීමතින් යතුරුපැදියේ ගිය දෙදෙනා කණුවක හැපී වැටුණාම ගම්මු ට්‍රැෆික් පොලිස් දෙදෙනාට නෙළලා

128

පහර දුන් 15ක් සමග 17ක් උසාවිය හමුවට

මහවැව තොඩුවාව පොලිසියට අනුබද්ධ මාර්ග රථවාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට බරුදැල්පොල ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් පහරදීම නිසා තුවාල ලබා පෙරේදා (23දා) රාත්‍රී අටට පමණ මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

බීමතින් යතුරුපැදියක පැමිණි දෙදෙනකුට පොලිස් නිලධාරීන් නැවැත්වීමට සංඥා කළද ඔවුන් නොනවත්වා ගොස් පාර අසල තිබූ කණුවක හැපී පෙරළී තුවාල ලබා ඇති අතර එතැනට රැස් වූ ප්‍රදේශවාසීන් පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදී තිබේ. පහර කා තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සමග යතුරුපැදියේ පැමිණි දෙදෙනාද මාරවිල රෝහලට ඇතුළත් කර ඇත. මේ අවස්ථාවේ ප්‍රදේශවාසීන් රැසක් පොලිස් නිලධාරීන්ට බරපතළ ලෙස පහරදී ඇතැයි තොඩුවාව පොලිසිය පවසයි. පහර දුන් පිරිසෙන් 15ක් සහ යතුරුපැදියේ පැමිණි දෙදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. තොඩුවාව, මට්ටකොටුව, බරුදැල්පොල ආදී ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් මාර්ග නීති උල්ලංඝනය කරමින් රථවාහන පදවන බව ද සිය පොලිස් ස්ථානය මේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවද තොඩුවාව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් 17දෙනා ඊයේ (24දා) පස්වරුවේ මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාර, නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී එස්. ඩී. ආර්. ප්‍රියන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත තොඩුවාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් රණවීර, උපපොලිස් පරීක්ෂක සරත් කුමාර යන මහත්වරුන්ගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් විමර්ශන සිදු කරති.
නාත්තන්ඩිය – රෙක්ස් හැරිසන්

advertistmentadvertistment
advertistmentadvertistment