යළි දෑසට නොපෑ යුතු කළු ජූලියට අවුරුදු 40 යි

107

යළි කිසිදු දිනෙක මේ මිහිතලය මත අපි දෑස් අභිමුව නොදැකිය යුතු කළු ජූලියට වසර 40 ක් සම්පූර්ණ වේ. අමිහිරි කළු ජූලිය ඇවිලුණේ 1983 ජූලි මස 23 වැනිදා යාපනයේ සිදු වූ කොටි ත්‍රස්ත ප්‍රහාරයකින් අපේ හමුදා සාමාජිකයන් 13 ක් බෝම්බ ගසා වෙඩි තබා ඝාතනය කිරීමේ විපත්තියත් සමඟිනි.

එම කොටි ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගියේ පලාලි හමුදා කඳවුරේ සිට යාපනය බලා ගමන් කරමින් සිටි උප ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු තවත් යුද හමුදා සාමාජිකයන් පිරිසකි. ඔවුන්ගේ මෘත ශරීර පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට බොරැල්ල කනත්තට රැගෙන ඒමෙන් අනතුරුව රුදුරු කළු ජූලියේ ගිනිදැල් ඇවිලෙන්නට වූහ.

මියගිය රණවිරුවන්ගේ අවසන් කටයුතු පූර්ණ හමුදා උත්තමාචාර මැද බොරැල්ල කනත්තේදී සිදුවන අතරතුර කම්පිත වූ ජනතාව කෙමෙන් වීදි බැසීමත් සමඟ බොරැල්ල කනත්ත ප්‍රදේශය මෙන්ම කොළඹද, රට වටා ද උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

තිරුනෙල්වේලි අසලදී කොටි ත්‍රස්තවාදීන් විසින් යාර 50 ක් ඈත සිට දුරස්ථ පාලකයක් උපයෝගී කර ගනිමින් එල්ල කරන ලද මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මියගිය රණවිරුවන් හැර තවත් යුද හමුදා සාමාජිකයන් කීපදෙනෙක් ද බරපතළ තුවාල ලැබූහ.

උප ලුතිනන් වාස් ගුණවර්ධන සමඟ සැරයන් තිලකරත්න, කෝප්‍රල් ඒ. පී. පෙරේරා, කෝප්‍රල් ජී. ඩී. පෙරේරා, ලාන්ස් කෝප්‍රල් පෙරේරා සහ හමුදා භටයන් වන කේ. ඩී. කරුණාරත්න, බී. රොබට්, එස්. එස්. අමරසිංහ, ඒ. ඩී. මනාපිටිය. එම්. බී. සුනිල්, ඒ. ජී. විජේසිරි, එස්. ජී. රාජතිලක, ඒ. ජේ. ආර්. ප්‍රනාන්දු, එම්. ඒ. මනතුංග යන හමුදා සාමාජිකයන් මෙහිදී මියගිය අතර තවත් හමුදා සාමාජිකයන් කීපදෙනෙක් මෙහිදී බරපතළ තුවාලකරුවන් බවට පත්වූහ.

ඉන් ඉක්බිතිව පැනනැඟුණු ජාතිවාදී අප්‍රසන්න කලකෝලහලවලින් අපේම සහෝදර දමිළ වැසියන්ගේ දේපළ මෙන්ම අපේ ජාතික සිනමාවට මහඟු මෙහෙයක් සැලසූ චිත්‍රාගාර, සිනමාහල් ද, ඇතමෙකුගේ ව්‍යාපාර ස්ථාන කම්හල් ද, නිවෙස්ද ගිනිබත් විය. තවත් සමහරු ජීවිතවලින් ද වන්දි ගෙවූහ. සමහරු රට හැර

ගියහ. ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය හමුවේ උද්ගත වූ වාතාවරණයේ වේදනාව ඇතමුන් පිට කළේ ආවේගවාදීවය. සමහරු අවස්ථාවෙන්ද ප්‍රයෝජන ගත්හ. එවන් දසුන් යළි කිසිම දිනක මේ මාතෘ භූමිය තුළ අපට දකින්නට නොලැබේවා යන්න අපේ ඒකායන ප්‍රාර්ථනයයි.

එම ඛේදවාචකය එදා ‘දවස’ පුවත්පතේ 1983 ජූලි 25 වන දින එනම් අද වැනි දිනක වාර්තා කර තිබූ අයුරු ද මෙහි දැක්වේ.
රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment