පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නව ජනවරමක් ලෙස ලඝු කරන්න බෑ

124

ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් යම් දේශපාලන ප්‍රවණතාවයක් ගැන අදහසක් ලබා ගන්න පුළුවන් වුවද එය නව ජනවරමක් ලෙස ලඝු කරන්න බෑ යැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය. හෙතෙම මේ බව කියා සිටියේ සර්වජන ඡන්ද බලය පිළිබඳ විපක්ෂය විසින් ගෙන එනු ලැබූ කල් තැබීමේ විවාදයේදී දෙවැනි දින අදහස් පළ කරමිනි.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. ලිපිලේඛන, පෙත්සම්, ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු විසින් පිළිතුරු සැපයීම ඉන් අනතුරුව සිදුවිය.

අනතුරුව දිනට නියමිත වූ සර්වජන ඡන්ද බලය පිළිබඳ කල් තැබීමේ විවාදය දෙවැනි දිනට ආරම්භ කෙරිණ. විවාදය ආරම්භ කරමින්,

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (ස.ජ.බ)-

රජය මැතිවරණවලට බයේ විවිධ උපක්‍රම භාවිතා කරනවා අප්‍රේල් 25 මේ මැතිවරණය පවත්වන එක වළක්වන්න. මේ වෙනකොට අධිකරණ නියෝගයක් දීලා තියෙනවා අයවැයෙන් වෙන්කරපු මුදල් නිදහස් කරන්න කියලා. මැතිවරණ කොමසාරිස්වරයා දින නියම කරලා තියෙනවා අප්‍රේල් මාසේ 25 මැතිවරණය තියන්න කියලා. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව තුළ අධිකරණය මෙල්ල කරන්නත් මැතිවරණ කොමසාරිස්වරයා මෙල්ල කරන්නත් උත්සාහයක් ගන්නවා. මේ කරන්න හදන්නේ 21 වැනි සංශෝධනයෙන් ලබාගත් ජයග්‍රහණ දියාරුකිරීමක්. 20 ගෙනල්ලා රටේ සියළු ආයතන විධායකයට යටත් කරා. වසර දෙකකට පස්සෙ 20 වෙනි සංශෝධනය වෙනස් කරලා ආණ්ඩුව විසින්ම 21 වෙනි සංශෝධනය ගෙනාවා. අධිකරණය, රාජ්‍ය සේවා ආයතන යම්කිසි ස්වාධීනත්වයක් ලබාදෙන්න. එහෙම කරපු රජය පාර්ලිමේන්තුව තුළ අධිකරණයට විරුද්ධව වරප්‍රසාද ප්‍රශ්ණ ඉදිරිපත් කරලා මේ ආයතන දෙක දුර්වල කරන්න හදනවා. රජයට අපි වසර එකහමාරකට කලින් කිව්වා අයිඑම්එෆ් එකට යන්න කියලා. නමුත් රජය අපේ උපදෙස් පිළිගන්නේ නැතිව ගිය අවුරුද්දේ මැයි මාසයේ රජය බංකොළොත් වෙනකල්ම හිටියා.

දැන් වරාය, රක්ෂණ සංස්ථාව, ටෙලිකොම්, විදුලි බළ මණ්ඩලය, ඉන්ධන සංස්ථාව මේවා විකුණන්න ජන වරමක් තියෙනවාද? ජන වරම ලැබුණේ මේවා ආරක්ෂා කරන්න. අන්න ඒකයි මැතිවරණය වැදගත්. ජන වරමක් නැතිව මේ ප්‍රතිසංස්කරණ කරන්න ගියොත් මේ රට ලේ විලක් වෙනවා.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා-

අයිඑම්එෆ් අරමුදල සමග ඇති කර ගත් එකඟතා මේ සභාවට ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන බව පැහැදිලිව කිව්වා. ඒ වගේම අපි ඉන්නේ 2023 අයවැය යෝජනාවලිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේ. මේ අය කියනවා ඒ අයලු අයිඑම්එෆ් මුලින් ම යන්න කිව්වේ. හැබැයි දැන් අයිඑම්එෆ් ගියහම අහනවා මොනවද කොන්දේසි කියලා. මේ පලාත් පාලන මැතිවරණයෙන් අපිට යම් ප්‍රවණතාවයක් ගැන අදහසක් ලබා ගන්න පිළුවන්. නමුත් එය ජනවරමක් කියලා ලඝු කරන්න බෑ

(වීරසිංහ වීරසුමන මහතා මූලාසනයට පැමිණේ)

සුසිල් ප්‍රේමජයන්ත මහතා-

අපි දන්නවා මේ රටේ ජනමත විචාරණයක් තියලා වසර හය වසර 12ක් කර ගත්තා. ඒ කාලයේ මන්ත්‍රීවරු ආවේ කොට්ඨාස ක්‍රමයට. ඉතින් කොහොමද ජනමතය ප්‍රදර්ශනය වෙන්නේ. අපේ ඉතිහාසය ගත්තොත් මැතිවරණ කල් ගිය අවස්ථා තිබෙනවා. අද අධිකරණය ගැන කතා කරනවා. එදා භීෂණය ගැන මතක ඇති. තුන්ඩු කෑල්ලෙන් අධිකරණය වැහුවා. අපි උසාවි ගිහින් ආපහු එනවා. මේ යුග සමමහරුන්ට මතක නෑ. ඡන්දේ දාන්න බැරි විදිහට හැඳුනුම්පත් එකතු කලා. ඡන්දේ දාන්න ගියොත් මරණවා කිව්වා. ඒත් අද ඒවා මතක නෑ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි සමන් ප්‍රිය හේරත් (ශ්‍රිලපොපෙ) –

අද රට පවතින තත්ත්වය ගැන සතුටුවිය යුතුයි. මීට මාස කිහිපයට පෙර අපි දැඩි දුෂ්කරතාවන්ට පත්වුණා. පොහොර, බෙහෙත් නැතිවේවි කියලා හිතුවා. ඩොරලය රුපියලේ අටසීයට යයි කියලා හිතුවා. තෙල් මිල ඉහළ යයි කියා කිව්වා. නමුත් අද එවැනි තත්ත්වයක් නෑ.

අරගලයට ආවේ දුප්පත් මිනිස්සු නොවෙයි. එක එක පක්‍ෂවල උවමනාවට ක්‍රියා කළ අයයි.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි නිරෝෂන් පෙරේරා (සජබ) –

ඡන්දයට ආණ්ඩුව බයයි. බලයක් නැතිව ඒ අයට පැවැත්මක් නැහැ. මොනවා හරි කරලා බලයේ ඉන්න තමයි උවමනාව.

රටේ ආර්ථික අර්බුදය ඇති කළේ කවුද අර්බුදය ඇති කළ අයම ඡන්දයක් තියන්න බැහැලු. මේ රජයට ඡන්දයක් තිබ්බොත් සියයට 10 ක්වත් ලැබෙන්නේ නෑ. එනිසා විවිධ තර්ක විතර්ක කරලා බලය බේරාගන්න දැඩි උත්සාහයක යෙදිලා. ජනතාව ජනවරමක් දුන්නොත් අපේ පක්‍ෂය ආර්ථිකය ඉදිරියට ගෙන යනවා. මේ අර්බුදය අපි කලින්ම කිව්වත් ඒ කිසිවක් කවුරුත් ගණන් ගත්තේ නෑ.

පත් කළ මන්ත්‍රි සාගර කාරියවසම් (ශ්‍රිලපොපෙ) –

මේ රටේ කිසිම පුරවැසියකුට රෝහල්වල ප්‍රතිකාර නොමැතිව සිටීමට ඉඩ තිබ්බේ නෑ. කෝවිඩ් සමයේ එන්නත් හතරම දුන්නා. රටේ මොන දුෂ්කරතා තිබ්බත් ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සැපයුවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි අශෝක අබේසිංහ (සජබ) –

අධිකරණයෙන් මැතිවරණය පැවැත්වීමට තීන්දුව දුන්නහම එය වැළැක්වීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය කුමන්ත්‍රණය කරනවා. නියෝග දුන් විනිසුරුවරු පාර්ලිමේන්තුවට ගෙන්වන්න හදනවා. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය අතර ගැටුම් හදන්න යනවා.

ඡන්දය කල් දාන්න එක එක උප්පරවැට්ටි හදන්න එපා. පොදුජන පෙරමුණ ඡන්දය ඕන කියනවා නම් ඔවුන්ට පුළුවන් ආණ්ඩුවට එකතුවී ජනපතිට කියන්න ඡන්දය තියන්න කියලා. වරප්‍රසාද ඉදිරිපත් කරන්නෙ පොහොට්ටුවේ අයයි. ආණ්ඩුව මෙහෙම කළොත් ජාත්‍යන්තරයත් අපිට එරෙහි වේවි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රාවුෆ් හකීම් (සජබ) :

මේ වෙලාවේ ඡන්ද අවශ්‍ය නෑ කියලා ආණ්ඩුව කෙලින්ම කියනවා. මෙය ජනතා පරමාධිපත්‍යය හකුළා දැමීමට ගන්නා ප්‍රයත්නයක්. මෙයින් ව්‍යවස්ථාව සෘජුවම උල්ලංඝනය කරන්නන් බවට ආණ්ඩුව පෙනී සිටිනවා. අධිකරණයට බලපෑම් කරන්න අධිකරණ තීන්දුව ක්‍රියාත්මක වීම වළක්වන්න කතානායකගෙන් තීන්දුවක් ගන්න ආණ්ඩුව උත්සාහ කරනවා. මේ මගින් ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් ගට්ඨනයක් ඇති කරන්න හදනවා.

සීමා නිර්ණ වාර්තාව මේ මාසයේ අරගෙන යළිත් ගැටුමක් ඇතිකර මැතිවරණය කල් දාන්නත් උත්සාහ කරනවා. මෙහි ඵලවිපාක වැඩිකල් යන්න පෙර රජයට ලැබේවි. ජනතාව දුන් වරම ආපස්සට හැරවීමේ අයිතිය ජනතාව සතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බංඩාර (සජබ) :

අධිකරණ තීන්දුවට එරෙහිව වරප්‍රසාද කඩවීම් කරන්නේ අධිකරණය හෑල්ලුවට ලක්කිරීමටයි.

ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් අපට ‘ෂටප්, සිට් ඩවුන්’ කියලා ව්‍යවස්ථාදායකයත් හෑල්ලු කරනවා. අපේ වරප්‍රසාද කඩකර ඇති බව අපට පේනවා. ආණ්ඩුවට දැන් ජනපති ගැලවුම්කාරයෙක් වී තියෙනවා. ජනාධිපති රටේ ජනතාවට සියලු බර පටවලා රාජපක්ෂලාගේ ගැලවුම්කාරයෙක් වී සිටිනවා. ජනතාවගේ බර කරට අරගෙන නෑ.

ජනපති ප්‍රශ්න විසඳලා නොවෙයි සල්ලි නෑ කියන්නේ. පොහොර නැති වූ නිසා හිමිවිය යුතු වගා වන්දි දීලත් නෑ. ගෑස් පිපිරී විනාශ වුණ ඒවාට වන්දි ගෙව්වාද? රෝහල්වල බේත් උපකරණ නෑ. ඒවා නොකර පරාජයේ විළිවසා ගැනීමට කළහැකි හැම ජරාවැඩක්ම කරනවා.

මේ ඡන්දය වළක්වා ගැනීමට ඕනෑම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක් කරන්න ජනපතිවරයා ක්‍රියාකරනවා. එය ආරක්ෂා කිරීමට ආණ්ඩුව ක්‍රියා කරනවා.

පාර්ලිමේන්තුව යළි ලබන 21 වැනිදා පෙරවරු 9.30ට රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment