මැතිවරණ කොමිසම උස්තැන් දැක හැකිළෙනවා මිටි තැන් දැක පුප්පනවා – දුමින්ද නාගමුව

100

මැතිවරණ කොමිසම උස් තැන් දැක හැකිළෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ යන ප‍්‍රතිපත්තියේ සිට කටයුතු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ (18 දා) පැවසීය.

ඒ මහතා එසේ කියා සිටියේ අවම වශයෙන් වසර 6 කට වරක් හෝ ඡුන්ද විමසීමකට ඉදිරිපත් වී සියයට දෙකක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා නොගන්නා දේශපාලන පක්‍ෂවල සාමාජිකත්වය ඉවත් කළ යුතු බවට මැතිවරණ කොමිසම මැතිවරණ නීති සංශෝධනය සඳහා පත්කළ විශේෂ තේරීම් කාරක සභාවට කර ඇති යෝජනාව පිළිබඳව කළ විමසීමේදී ය.

මෙහිදී තවදුරටත් කතා කළ දුමින්ද නාගමුව මහතා මෙසේද කියා සිටියේය.

මැතිවරණ ඇතුලේ වෙන ප‍්‍රධානම දේ තමයි මාධ්‍ය බලය පාවිච්චි කරමින් මොළ හේදීම. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අවධානය යොමු කරලා තියෙනවද කියලා අපි ප‍්‍රශ්න කරනවා.

2015 මැතිවරණයේදී කොළඹ විශ්වවිද්‍යාලය සමීක්‍ෂණයක් කරලා තිබුණා. ඒ සමීක්‍ෂණයේදී කොළඹ විශ්වවිද්‍යාලය කියනවා පාර්ලිමේන්තුවට ආපු 72 ක් 2015 මිලියන 500 ක් වියදම් කරලා තියෙනවා කියලා මැතිවරණයට.

මැතිවරණවලට වියදම් කරන මුදල් සම්බන්ධයෙන් විවෘත වාර්තා ජනගත කරන්න දේශපාලන පක්‍ෂවලට බලකරන මැතිවරණ කොමිසම අරන් තියෙන තීරණය මොකක්ද? ඒ වගේම මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ගේ ඇත්ත වත්කම් වාර්තා එළිකරන්න නීති සකස් කරනවද? ඒ සඳහා බලයක් මැතිවරණ කොමිසම ගන්නවද? ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවධානය මොකක්ද? මෙවැනි ප‍්‍රශ්න ගණනාවක් තියෙනවා. එසේ තිබියදී මුනිවත රකින මැතිවරණ කොමිසම මැතිවරණ වියදම අඩුකර ගැනීමේ වුවමනාවකින් ඡුන්ද අඩු පක්‍ෂවල ලියාපදිංචිය කැන්සල් කරන්න කියා යෝජනා කරනවා නම් ඔවුන් හදන්නේ තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් අහෝසි කරන්නයි. අපි අහනවා මිනිසුන්ගේ ජනමතය ඉදිරිපත් කරන්න සහ ජනතාවට දේශපාලනිකව සංවිධානය වෙන්න තියෙන අයිතිය අහෝසි වෙන ආකාරයේ යෝජනා ගේන්න මැතිවරණ කොමිසමට තියෙන අයිතිය මොකක්ද කියලා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment