‘බොර්න් අගේන්’ මහා පරිමාණ ජාත්‍යන්තර මෙහෙයුමක ශ්‍රී ලංකා කොමඩිය

270

හඳුනාගෙන වැඩි කලක් නැතත් ස්ටෑන්ඩ් අප් කොමඩි (stand up comedy) හෙවත් නගාසිටුවීමේ ප්‍රහසන කලාව ගැන දැන් මේ රටේ නොදන්නා කෙනකු නැති තරම්ය. නටාෂාලාට පින්සිදු වන්නට ඒ තරමටම අද අපේ සමාජයේ ස්ටෑන්ඩ් අප් කොමඩිය ප්‍රචලිතය.

මේ ප්‍රහසන ප්‍රවර්ගයේ ලක්ෂණ හැඩය හා මූලධර්ම හොඳින් විමසා බලද්දී පෙනෙන කාරණයක් වන්නේ ඒවා කිසිලෙසකත් අපට ආගන්තුක නොවන බවයි. අද අපේ වේදිකාවේ නහුතයක් පොර ටෝක් දෙන දේශපාලනඥයාගේ පටන් නූතන ජනප්‍රිය ටියුෂන් ගුරුවරයා දක්වාම වූ සැවෝම අපට පෙන්වන්නේ මේ stand up comedy වර්ගයේ ප්‍රහසන නොවේද? වෙන එකක් තබා අපට සමාජ බණ දේශනා කරන සුප්‍රකට හාමුදුරුවන් වහන්සේ පවා උපාසකම්මලාගේ සාදුකාර හඬ මධ්‍යයේ බොහෝ විට කරන්නේ බණ කියනවාට වඩා stand up comedy පැවැත්වීම බව පැහැදිලිය. වෙනසකට ඇත්තේ උන් වහන්සේලා හිටගෙන නොව, ඉඳගෙන එම කාර්යභාරය ඉටුකිරීම පමණකි.

ලංකාවේ එම සම්ප්‍රදායේ ගෝඩ් ෆාදර් කෙනෙක්ද සිටී. ඒ වූ කලී ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දු ය. අප කිසි ලෙසකත් ඔහුව අපේ අවධානයෙන් බැහැර කළයුතු නොවන්නේ ඒ නිසා ය.

● ස්ටෑන්ඩ් අප් ගෝඩ් ෆාදර්…

ජෙරම් ප්‍රනාන්දු අපේ සමාජයේ පොදු කතිකාව ඇතුළට පැමිණ දැන් වැඩි ඈතක් නැති බව සැබෑය. ඔහු හෝ ඔහුගේ “බොර්න් අගේන්” born again ආගමික ව්‍යාපෘතිය මීට වසර පහළොවකට පමණ එපිට අපේ රටේ දුලභ මාතෘකාවකි. එහෙත් මීට වසර හත අටකට එපිට සිට “බෝර්න් අගේන්” ඉහළ මධ්‍යම පන්තිය ඇතුළත ආගමික විලාසිතාවක් (religious style) බවට පත්වී පසුව එය ආගමික උන්මාදයක් (religious fanaticism) බවට පත්විය. දේශපාලනඥයෝ, ප්‍රකට ව්‍යාපාරිකයෝ, කලාකරුවෝ, සුප්‍රකට ක්‍රීඩකයෝ අපේ රටේ මේ විලාසිතාව තරයේ වැළඳ ගත්තෝ වෙති. ඔවුන් එහි උන්මාදනීය ආශ්වාදකයින් බවට පත්වූයේ මේ ආගමික සම්ප්‍රදාය වැළඳගන්වුන් තම තමන්ගේ ක්ෂේත්‍රවලින් ලබන සාර්ථකත්වය හා උන්නතිය පිළිබඳ රටපුරා පැතිර ගිය නොමඳ ප්‍රසිද්ධිය නිසා ය. මේ සුබාරංචිය නිසා born again ලැබූ සාර්ථකත්වය කොතරම් ද යත් අවසානයේ අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම පිටරටක සංචාරයක් අරඹන විට මහා සංඝරත්නයට පිරිත් නූලක් බඳින්නට බෞද්ධයකු සොයාගන්නට නොහැකි තත්ත්වයට පත්විය.

මීට අවුරුදු පහළොවකට පමණ ඉහත අපේ රටේ රහසිගතව ක්‍රියාත්මක වුණු බෝර්න් අගේන් ව්‍යාපෘතිය අද පවතින තත්ත්වයට දියුණු කළෝ අන් කවුරුවත් නොව, දෙවියන් වහන්සේගේ නිල නියෝජිතයා හෙවත් පණිවිඩකරුවා ලෙස තමන්ව හඳුන්වා දෙන ෆාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුය.

ජෙරම් ප්‍රනාන්දු අති දක්ෂයෙකි. ආකර්ෂණීය නායකයෙකි. අති දක්ෂ මනස්කාන්ත දේශකයෙකි. ඇසුවන් දුටුවන් මවිතයට පත් කරමින් මෙන් තමන් කෙරෙහි ඇද බැඳ තබා ගන්නා අසමසම ආකර්ෂණ ශක්තියකින් හෙබි ඔහුගේ දේශනා ශෛලිය පුදුම සහගතය. කිසිදු සැකයක් නැත. stand up comedy කලාවේ ලංකාවේ පිකාසෝ ඔහු ය.

ජෙරම්ගේ දේශනාවලින් උමතු වී බෝන් අගේන් ආගම වැළඳ ගැනීමේ වැඩිම ප්‍රවණතාව ඇත්තේ කතෝලිකයන් අතරය. එහෙත් කතෝලික සභාව මේ පිළිබඳව සද්දයක් නැත. සාර්ථකත්වය සොයා born again දහම වැළඳ ගන්නන් අතර බෞද්ධයෝද හිඟ නැත. ඒත් ඒ ගනුදෙනු කෙරෙන්නේ හොර රහසේ ය. සිංහල බෞද්ධ සමාජයේ සමහරු සාර්ථකත්වය සොයා බෝන් අගේන් සරණ ගියත් ඒ ගැන ප්‍රසිද්ධියේ පිළිගැනීමට හෝ කීමට දක්වන්නේ බලවත් මැළිකමකි.

● සමානාත්මතාවයේ ප්‍රවේශය

stand up comedy හෙවත් නගා සිටුවීමේ ප්‍රහසන කලාව ඔස්සේ පොදු ජනතාව අමතන පුද්ගලයන් අතර චාල්ස් ඇන්තනී පියතුමා ද සැලකිය යුතු ජන පදනමක් සහිත දේශකයෙකු ලෙස ප්‍රකටය. චාල්ස් ඇන්තනී ජෙරම් මෙන් දැඩි සෘජු ප්‍රවේශයක් සහිත දේශකයෙකු නොවීය. ඔහුගේ ප්‍රවේශය ජෙරම්ලාට ඉඳුරාම වෙනස් එකක් විය.

චාල්ස් පියතුමා පෙනී සිටින්නේ ගීතය නමැති සාහිත්‍යාංගය ඔස්සේ සෞන්දර්යාත්මකව ජනතාව අමතන සහෘද රසිකයෙකු ලෙසය. කොටින්ම ඔහු හොඳම වර්ගයේ මොළ සෝදන්නෙකු (brain wash) ලෙස අපට වටහාගත හැකිය.

ෆාදර් චාල්ස්ගේ පෙනුම හරි ප්‍රසන්නය. නිරතුරුව සිනහවකින් මුව සරසාගෙන සිටින බැවින් ප්‍රියමනාපය. වචනය හරි මෘදුය. කතා-බස් සැහැල්ලුය. ඔහුගේ දේශනාවල කොතැනකවත් ආගමක් දක්නට නැත. ගීත කියමින් ඒවාට විවරණ සපයමින් චාල්ස් පියතුමා විවිධ හේතුන් නිසා මිනිසා තුළ වැළලී ඇති මනුෂ්‍යත්වය නඟා සිටුවීමට උත්සාහ කරයි.

ඉතින් ඒ වරදක්ද… කෙනෙකු අසන්නට බැරි නැත. කිසිසේත්ම නැත. වරදක් නැත. එහෙත් ඒ තුළ ම අපට හිතන්නට බොහෝ දේ තිබේ.

මොහිදින් බෙග්ගේ සිට කසුන් කල්හාර දක්වාම නානාවිධ හඬ පරාසයන් සහිත ගායකයන් ගයා ඇති ගීත ඒ ඒ හඬ අනන්‍යතාවන් සහිතවම ගායනා කරන්නට නිසග හැකියාවක් අපේ පියතුමාට හිමිය. එය ඔහු සතු දුලබ වාසනා ගුණයකි. එහු ඒ දක්ෂතාව ඔස්සේ විවිධ ප්‍රේක්ෂතාගාර අමතමින් සින්දු කියමින් දේශන පවත්වන විලාසයන් රැසක් මම පුද්ගලිකව අධ්‍යයනය කර ඇත්තෙමි.

මම දිනක් ඔහු ජාතික රූපවාහිනියේ “තාල භාෂණ” ප්‍රසංගයට පැමිණ ගායනා කරන ගීතයක් දෙස බලා සිටියෙමි. ඔහු එහිදී ගැයුවේ ගුණදාස කපුගේ ගායනා කළ මමත් කැමති අපූරු ගීයකි.

සෙනේ සිතින්… සැනසිල්ලෙන්… එක සිතුවිල්ලෙන්….
වෙමින් එකම මවකගේ දරුවන්…
නුවන් පියෙන තුරා ඉඳිමු අපි හසරැල්ලෙන්…

සංගීතයට අනුව හරි අපූරුවට ගීතයේ පද කීපයක් ගායනා කරන ඔහු ඊළඟට ඊට අර්ථ විවරණ සපයයි. ඒ ඔස්සේ ඊළඟට ඔහු ප්‍රේක්ෂකාගාරයට දෙන පණිවිඩය අතිශයින් සියුම්ය…

එකම අහසකිනි කාටත් සෙවණ සදන්නේ
පොළොව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ…
එවන් පොලොව මැද යුදවැද උරුම සොයන්නේ.
තරගවැදී නොමිනිස්කම් ඇයි මිනිස්සුන්නේ…

“මේ අපි හැම කෙනෙක්ම එකම අහසක් යට සෙවන ලබන දරුවෝ. සියලු ජාතීන් සියලු ආගමිකයන් ශ්‍රී ලාංකික කියන සීමාවෙන් පවා ඔබ්බට යා යුතුයි අපි. අපි කවදද එහෙම යන්නේ. රට ඇතුළේ ආගම් බේද, ජාති භේද භාෂාබේද, කුල භේද තියාගෙන අපි කොහොමද විශ්වීය මහා අත්දැකීමකට එක්කාසු වෙන්නේ. කොහොමද මනුෂ්‍යත්වය දිනවන්නේ…” ඔහු අපගෙන් ප්‍රශ්න කරයි.

බෙදුම් පවුරු සීමා බැඳ පිල් බැඳගන්නේ
තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ
කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ
ජීවත්වෙන ටික ඇයි මේ සටන් වදින්නේ..

බැලූ බැල්මට ඔහුගේ දේශනාවල කිසිදු වරදක් නොපෙනෙයි. ආගම ජාතිය ගැන බැඳීම් නිසා වැළලී ගිය මනුෂ්‍යත්වය ගැන ඔහු කඳුළු සලයි. ජනතාව ආගම ජාතිය වැනි බැඳීම්වලින් නිදහස් ව සිතන්නට පොළඹවයි.

ඔහුගේ පෙළඹවීම කොතරම් මටසිළිටිද. එය “ආගම අබිං” යැයි ලෙනින් කී සුප්‍රකට ප්‍රකාශය තරම් රළු නැත. එහෙත් ඔහු මේ පණිවිඩය කියන ප්‍රේක්ෂකාගාරය කුමක්දැයි අප හොඳින් වටහා ගත යුතුය. ආගමික බැඳීම් වලින් තොරව සිතන්නැයි ඔහු කියන්නේ කතෝලික ජනතාව බහුල ප්‍රේක්ෂකාගාරයක නොවේ. හොඳ රසිකත්වයක් ඇති සිංහල බෞද්ධයන් බහුල ප්‍රේක්ෂකාගාරයක ය. වෙනස් කළ යුත්තේ සිංහලයා බෞද්ධාගම සමග ඇති තදාත්මයයි. මොනතරම් සියුම් ද. මොනතරම් ඥානාන්විත ද.

ඔහුගේ මෙහෙයුම පාස්ටර් ජෙරොම්ගේ හෝ නටාෂාගේ මෙහෙයුම මෙන් සිංහල බෞද්ධ මහා සමාජයට හෝ මහා සම්ප්‍රදායට හානිකර යැයි කියන්නට අපි ඉක්මන් නොවෙමු. අපි සිටින්නේ ඔහු දෙස සුපරික්ෂාවෙනි. මන්ද සිංහල බෞද්ධයාට “ජාතිය හා ආගම එපා කරවීමේ මහා මෙහෙයුම” විවිධ ප්‍රවේශයන්ගෙන් විවිධ න්‍යාය පත්‍රවලින් මේ රටේ ක්‍රියාත්මක වන බව අප දන්නා නිසාය.

නටාෂාලා හා ටානියාලා කරන්නේ ජනතාව තදාත්මිකව බැඳී සිටින ආගම් හා දෘෂ්ටිවාදවලට ප්‍රහාර එල්ල කිරීමයි. අප සිතන පරිදි චාල්ස් වැන්නවුන් කරන්නේ එවන් තදාත්මික සංකල්පවලින් මිදෙන්නට ජනතාවට සෞන්දර්යාත්මක ප්‍රවේශයක් ලබා දී ඊට මනුෂ්‍යත්වය ආරෝපණය කිරීමයි. එහෙත් පාස්ටර් ජෙරම්ගේ ප්‍රවේශය වඩාත් භයානකය. ඔහු කෙළින්ම අපේක්ෂා භංගත්වයට පත්ව සිටින පරපුරකට ඔහුගේ බෝන් අගෙන් ආගම ආරෝපණය කරවයි.

සැබැවින්ම මෙය ලෝක ප්‍රවණතාවයකි. ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන යෝධ මෙහෙයුමකි. පාස්ටර් ජෙරම්ලා, නටාෂාලා, බෲනෝලා, ටානියාලා, මංජු ලා මේ යෝධ මෙහෙයුමේ කුඩා කුඩා සක්ක කැට වැනිය. ඔවුන්වත් මෙහෙයවන මහා යාන්ත්‍රණය ඇත්තේ අපි නොදන්නා තවත් තැනකය.

මහා මෙහෙයුමට එරෙහි සිනමාව…

ආගම් ප්‍රචාරණය වනාහි මත්ද්‍රව්‍ය ජාවාරම තරමටම ලෝක පරිමාණ වශයෙන් මුදල් උපයන කුප්‍රකට ජාවාරමකි. ජනතාවගේ විශ්වාසයන් හා ඇබ්බැහිවීම් යොදාගෙන මේ මහා ජාවාරම කරගෙන යන ආකාරය හෙළිදරව් කරන ලෝක පරිමාණ මට්ටමේ හෙළිදරව්වක් පසුගියදා චිත්‍රපටයක් ඔස්සේ දැකබලා ගන්නට අපිට අවස්ථාවක් ලැබුනේ ඉන්දීය මලයාලම් සිනමාවේ රඟදැක්වුණු එක්තරා කලා කෘතියක් ඔස්සේය.

කලාකෘතිය වින්සන්ට් වඩක්කන් නමැති මලයාලම් චිත්‍රපට තිර පිටපත් රචකයාගේ නිර්මාණයක් ඇසුරෙන් අන්වර් රාෂීඩ් නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා සිනමාවට නැඟූ “ට්‍රාන්ස්” (TRANCE) චිත්‍රපටයයි. 2020 වසරේ පෙබරවාරියේ ප්‍රදර්ශනය ආරම්භ කළ මේ චිත්‍රපටයේ ෆහාද් ෆාසිල් නම් අතිදක්ෂ මලයාලම් රංගන ශිල්පියා රඟදක්වන “ජෝෂුවා කාල්ටන්” නම් පාස්ටර් වරයාගේ චරිතය තුළින් අපට පෙන්වා දෙන්නේ ජෙරම් ප්‍රනාන්දු වන් පාස්ටර් වරයෙකුගේ ලෝක පරිමාණ කාර්යභාරයයි. අපි දැන් එහි කතා සාරය මඳක් විමසා බලමු.

විජු ප්‍රසාද් දකුණු ඉන්දියාවේ කන්‍යා කුමාරි නම් ප්‍රදේශයේ ජීවත් වූ, කුඩා කුඩා ජන කණ්ඩායම් වලට ධනාත්මක චින්තනය (motivation) පිළිබඳ දේශන පැවැත්වීම ජීවිකාව කරගත් තරුණ දේශකයෙකි. ජීවිතයේ යම් කලකිරීම් සමුදායක් නිසා ගම් ප්‍රදේශය අතහැර මුම්බාය ට යන ඔහුට දෛවයේ යම් හැරවුම් ලක්ෂ්‍යයකදී සොලමන් හා අයිසෙක් නම් ව්‍යාපාරිකයන් දෙදෙනකු හමුවෙයි.

මේ ව්‍යාපාරිකයන් දෙදෙනා ධනාත්මක චින්තනය පිළිබඳ දේශන පැවැත්වීමට විජු ප්‍රසාද් සතු හැකියාව වටහාගෙන එක්තරා වෙළෙඳ භාණ්ඩයක් ප්‍රවර්ධනය කිරීමේ රැකියාවක් විජූට බාරදෙයි.

“ඔබට තියෙන්නේ ලෝකයේ තියන බලගතුම මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන්න දේශන පවත්වන්න. අපි ඒ දේශනයකට ඔබට ලක්ෂයක් දෙකක් ගෙවනවා. ඊළඟට ඔබ එහි සාර්ථක වුණොත් වැඩි කලක් යන්නට මත්තෙන් ඔබ ඒ ව්‍යාපාරයේ කොටස්කාරයෙක් මෙන්ම මහා පරිමාණ ධනවතෙක් බවට පත්වනවා”.

“මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය” කී පමණින්ම බිය වන විජූ මුලින්ම අකැමැත්ත ප්‍රකාශ කරනවා. එහෙත් ලෝකයේ ලොකුම මත්ද්‍රව්‍ය ආගම යැයි කියා රැකියාවේ ස්වාභාවය පැහැදිලි කළ පසු ඔහු ඊට එකඟ වනවා.

එතැන් පටන් චිත්‍රපටයෙන් පෙන්වන්නේ විජු ප්‍රසාද් නම් අහිංසක මෝටිවේෂන් දේශකයා යටපත්වී “ජෝෂුවා කාල්ටන්” නම් ලෝකප්‍රකට ආගමික දේශනා පවත්වනවා පාස්ටර් වරයා බිහිවන ආකාරයයි.

බලා සිටියදී ආගමක මුවාවෙන් මහා පරිමාණයෙන් ධනය උපයන ව්‍යාපාරයක අත්‍යවශ්‍ය ඇණ මුරිච්චියක් බවට විජූ ප්‍රසාද් පත්වනවා. එහෙත් ඔහුට ඔහුවම නැති වෙනවා.

ට්‍රාන්ස් චිත්‍රපටය තුළින් අවසන් වශයෙන් පෙන්වනු ලබන්නේ ලෝක පරිමාණයේ ලාභ ලබන ව්‍යාපෘතියක් විසින් විශ්වාසයන් හා ඇබ්බැහිවීම් නිසා අසරණභාවයට පත් ලෝක ජන ප්‍රජාවක් පාලනය කරන ආකාරයයි. ජෝෂුවා නමැති පාස්ටර් වරයා සුපිරි ජීවිතයක් ගත කරන ධනවතකු ලෙස පෙනුනත්, පුද්ගලික ජෙට් යානා සුඛෝපභෝගී යානවාහන ලොව පුරා සුඛෝපභෝගී නිවාස භාවිත කරන බලවතෙකු ලෙස ලොවට පෙනුනත් ඒ සියල්ල පාලනය වන්නේ නොපෙනෙන බලවේගයක් වූ ලෝක පරිමාණ වාණිජ ව්‍යාපාරයක් විසින් බව චිත්‍රපටය පෙන්වා දෙයි.

ජෝෂුවා වනාහි එම ව්‍යාපාරය විසින් රැහැන් මගින් නටවන ජීවමාන රූකඩයක් පමණක් බව ට්‍රාන්ස් චිත්‍රපටය සිනමාත්මකව ලොවට කියයි.

චිත්‍රපටයේ ජෝෂුවා කාල්ටන් රඟන්නේ අපේ රටේ ජෙරොම් ප්‍රනාන්දු පාස්ටර් වරයා රඟදක්වන චරිතයට සමාන්තර රංගනයක් නොවේද.

අවසානයේ සිදුවන මනෝ විකෘතියක් පසුපස සිදුවන සිද්ධි දාමයකින් ජෝෂුවා තුළ සිටින සැබෑ විජු ප්‍රසාද් නැවත ඉපදෙයි. ඔහු ජෝෂුවා කාල්ටන් නම් ව්‍යාජ දේවගැතිවරයා පසුපස ඇති මහා පරිමාණ භයානක ලෝක ව්‍යසනය ගැන රටට ලොකු හෙළිදරව්වක් කරයි. හෙළිදරව්වක් කරමින් ජෝෂුවා නම් සමාජ ලෝගුව ඇතහැර විජු සොයා නික්ම යයි.

මේ හෙළිදරව්ව තුළින් ලංකාවේ ජීවත්වන අපට උගත හැකි පාඩම් කොතෙක්ද…

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment