මම, ඔහු සහ ඔහුගේ නිර්මාණ

298

සංගීත සාහිත්‍ය කලා රසයට බැඳුණු සිතින් එහි රසහව් සොයමින් මා ඔබ මොබ සැරිසැරූ සමයයි. ඒ සංගීත ශාස්ත්‍රවේදය හරවත් ව ග්‍රහණය කර ගැනීමේ පරමාභිලාසය වූ මගේ ජීවන ප්‍රණිධානයෙහි නියත මංපෙත් පෑදු අසිරිමත් සිදුවීම වූ කලි අමරදේව සංගීත ශිෂ්‍යත්ව අරමුදල නමින් ශාස්ත්‍රෝන්නතිකාමී සද්ව්‍යාපාරයක් ලංකාදීප පුවත්පත කේන්ද්‍ර කොටගෙන ආරම්භ වීම යි. එහිලා පුරෝගාමී වූ ඩී. බී. ධනපාල නම් වූ පත්‍රකලාවේදියාණන්ගේ කාර්ය මණ්ඩලයෙහි නියුක්ත වූවන් අතර මඩවල එස් රත්නායක ද සිටීම සුවිශේෂ සිද්ධියක් ලෙස හඟමි. ඔහුගේ හමුවීම මගේ ජීවන චාරිකාවේ තැනක් හමුවීම අතර සාදානුස්මරණීය හමුවීමක් වේ. ඒ හමුවීම නිසා හටගත් සැබැඳියාව අතීත සැමරුම් දාමයක් සේ මගේ චිත්ත විථීයෙහි සදා රඳා හිඳිනු දක්ම සැබැවින්ම ආනන්දජනක වේ.

සාහිත්‍ය සංගීත කලා සුසංයෝගය මෙන්ම සාහිත්‍යවේදී දීර්ඝකාලීන සමීප ඇසුර හා සහෘද්භාවය පරිසමාප්ත ගීත නිර්මාණයෙහිලා උපයෝගී වන්නකි. කලාකරුවකු තුළ නිසඟයෙන්ම පිහිටිය යුතු යැයි මා හඟින තාත්වික ගුණය හා මුදිතා ගුණය රත්නායකයන් තුළ මැනවින් පිහිටියේය. ඒ බව ඔහුගේ ඇසුරේ දී මට නොයෙක් වර පසක් වී තිබේ. මා භාරතයේ සංගීත අසපුව කරා යන්නට පෙරාතුවත් එහි අධ්‍යයනයෙහි යෙදී සිටිය දී වරින් වර ඉසිඹු ලැබ පෙරළා සියරට පැමිණි අවස්ථාවලදීත් මම රත්නාකයන් සමග කොළඹ බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ එක් කුටියක විසිමි. දැඩි හිතෛෂිභාවයෙන් හා අන්‍යොන්‍ය අවබෝධයෙන් යුක්තව වාසය කළ අපි දෙදෙනා එකම ජීවන දර්ශනයකට ද සම වැඳ සිටියෙමු. මිල මුදලට, යස ඉසුරට., කිත් යසසට ලොබ නොබැඳ අපිස් ලෙස ජීවත් වීමේ අධ්‍යාශය අප සිත් පහන් කළ ජීවන දර්ශනයයි. එම ජීවන දර්ශනයෙහි ම ඔහු අදත් තිරසරව පිහිටා සිටිනු දැක්ම මට මහත් සොම්නසකි. කලාවේ උත්තරීතර භාවය නොතකා ධනෝපායන මාර්ගයක් සේ පරිහරණය වන අවධියක එබඳු තිරසාර ජීවන දර්ශනයක් දරා සිටීම අගය කළ යුතු නොවන්නේ ද?

භාරතයේ ලක්නව්හි සංගීත අසපුවේ අධ්‍යයනයෙහි යෙදී හුන් කාලයේ මා සාක්ෂාත් කරගත් මධුර සංගීත ස්මෘතිය ලංකාවේ දී මා නිබඳ පවසන්නේ මඩවල රත්නායකයන්ට යි තුමකි චලිත රාමචන්ද්‍ර නමැති වෛෂ්ණව භජන් ගීතය සමස්ත භාරතය ගානයෙන් මුසපත් කළ දන්තාත්‍රය විෂ්ණු පලුෂ්කාර් නමැති පඬිවරයාගේ අතිශය ජනප්‍රිය ගායනයකි. එක් සිංහල අවුරුදු නිවාඩුවකට මා සියරට පැමිණි අවස්ථාවේදී මේ ගීතය මම රත්නායකයන්ට මුමුණමින් ගැයිමි. ඔහු ඉන් මුසපත් විය. එම නිවාඩුවේ දී ම මගේ සිංහල අවුරුදු වැඩසටහනකට නවක චලිත සීත සුළඟ නමින් ඔහු ලියූ ගීතය පූර්වෝක්ත භජන් ගායනයෙහි නාදකෘතිය ඇසුරු කරගත්තක් විය.

භාරතයේ සිට පෙරළා පැමිණි මා දේශීය ගායන ශෛලියක් බිහිකර ගැනීමේ අරමුණින් නිෂ්පාදිත ජනගායනා නම් වූ ගුවන් විදුලි ගීත විචිත්‍රාංගය මඩවල රත්නායක සමග ඇරඹිමි. මේ විචිත්‍රාංගය ටිකිරිලිය, මූදු ගියා, මැරෙන මල්, කලාකරුවා, ඉසිදාසි, සාමා ආදි පියවර කිහිපයකින් සමන්විත විය. ජන ගායනාවල සියලු ගීත රචනා කළේ මඩවල රත්නායක යි. ජන ගී ආකෘති ගවේෂණය කරමින් ජන ගීයෙහි ජනිත මාත්‍රා වින්‍යාසය අනුව යමින් ජනවහර උපයෝ කරගනිමින් සැකසුණු පරිසමාප්ත ගී සරණියක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන. එයින් මතු කෙරුණු ජන ගී ආර මගින් අධ්‍යයතන නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ රීතිය පෝෂණය වනු දැකීම සොම්නසට කාරණයකි.

ඉනික්බිති ව නිෂ්පාදිත රසමියුරු හා ස්වර වර්ණ යන විචිත්‍රාංග මගින් තව තවත් පෘථුල ගීත වෛචිත්‍ර්‍යයක් කරා යොමුවීමට අප දෙදෙනාට හැකි විය. අපගේ එම ව්‍යායාමය පළ දරා ඇති බව අද මට නිසැක ව හැඟේ.

මම, ඔහු සහ ඔහුගේ නිර්මාණ
මඩවල එස්.රත්නායකයන් ඩබ්ලිව්. ඩී අමරදේව සමග

මඩවල රත්නායක මා සඳහා ලියූ නිල් මහනෙල් මල් පිපුණා, සිනා රැලි දැක ඇගේ මුණේ මිහිරියේ ගැමි ළඳේ, මින්දද හීසර වැදී සැලෙන හද, රන්වන් කරල් සැලෙයි, ඈ ගී පද රචනා අතරින් වහනය වන දේශීය සුගන්ධය නිර්මාණ කාරයයෙහිලා කලාකරුවකු සතු විය යුතු දේශීයත්වය පිළිබඳ හැඟීම මවෙත සමීප කරවීමෙහි සමත් විය.

මඩවල රත්නායකයන් විසින් රචිත රන්වන් කරල් සැලෙයි නම් ගීතය තුරඟා වන්නමේ ආකෘතියත් හි ස්වර සංගතීනුත් ආශ්‍රය කර තැනූ ගීතයකි.

රන්වන් කරල් සැලෙයි
සන්සුන් කමින් බරව
සිල්ගත් සිතින් යුතු වූ කත සේ
මඳ සුළඟ හා සමග

බඳ සලන විට ගමද
පෙම් මල් උදා කරති සතොසේ
ගං හෝ ජලෙන් පිරෙන
ගොවිබිම් පලින් සුසැදි

දුක් දොම්නසින් ඉවත ඇදුණා
වනගතෙහි සියොතුනගෙ
මිහිරි ගී රස වැළඳ
ගස්වැල් මලින් සැරසි දිලුණා

මේ ගීතය මගේ නිර්මාණාත්මක කාර්යයේ එක් අවධියක දී අනුගමනය කළ ප්‍රතිපත්ති ගැන විවරණයකැයි මට හැඟේ. මෙහිදී තුරඟා වන්නමේ ස්වර සංගති ම හැකි පමණ නිදහස් ව සංවර්ධනය කරන ලදී. අර්ධ සප්තකයකට පමණක් සීමා වී තිබූ වන්නමේ ස්වර කැටිය පුරා සප්තකය දක්වා විහිදුවාලීමට හැකි විය. මගේ මේ අත්හදා බැලීම විග්‍රහ කර බලන විට භාරතීය සංගීතයේ ආභාසය ද එක්තරා ප්‍රමාණයකට බලපා තිබෙන බව පෙනේ. ස්ථායි හා අන්තරා යන කොටස් දෙකෙන් යුත්ත ගීතයක් වශයෙන් මෙය සකස් කළ ද ස්වර සංගති මිශ්‍ර කෙළේ රාගධාරි ක්‍රමයේ ආවේණික ලක්‍ෂණයන්ගෙන් වෙන් වී දේශජ නාදලතාවන්ට හානියක් නොවන පරිද්දෙනි. එබැවින් මෙය මගේ අත්හදා බැලීම්වට එක් පියවරක් වශයෙන් මෙය ඉදිරිපත් කළ හැකිය.

ගැඹුරු කාව්‍ය සංකල්පනා වුවද සුගම රීතියකින් රචනා කිරීමේ ශක්‍යතාව මඩවල රත්නායකයන් සතු නිසඟ ප්‍රතිභාවේ එක් ලක්‍ෂණයක් සේ මම දකිමි. සැබැවින්ම ඔහුගේ රචනා සුභාවික සුකුමාර ගුණයෙන් ශෝභමාන වූයේය. බුදු සමයෙහි එන අනිත්‍ය සංකල්පය ප්‍රබල සෞන්දර්ය පූර්වක ප්‍රකාශනයක් සේ අනාවරණය කරන්නට අප රචකයා දරා ඇති ප්‍රයත්නයන් එහි සාඵල්‍යයත් නිල් මහනෙල් මල් පිපුණා නම් ගීතයෙන් සුවිශදව පෙනේ. සංගීතවේදියකු නොවූවද සංගීත මාධ්‍යයට අනුගත ආවේණික ගති ලක්‍ෂණ මඩවල රත්නායකයන් අන්තර්ඥානයෙන් වටහා ගෙන සිටියකු බවට ද මේ ගීතය සාක්ෂ්‍ය සපයයි. මෙහි කාව්‍ය පාදාන්ත හලන්ත විරහිත දීර්ඝාක්ෂර මගින් රචනා කොට තිබීම නිසා යෝග්‍යතා ගුණ පැහැදිලිව මතු වෙයි. යම් පද රචනයක් සුගායනය වන්නේ මෙබඳු ගේයතා ගුණ කරණකොටගෙන යි.

නිල් මහනෙල් මල් පිපුණා
නෙත් සැදුණා – ඒ අනුගාමී
නළල ඇගේ අඬ සඳ වාගේ
මිහිරි නොවෙද හදවත කාගේ

මුතු ඇටවන් දත් පෙළ සුදිලේ
සිනහ නැඟේ දත්වල කැල්මේ
ඇයගෙ දෙපා ළඟ මහද තැවේ
එපමණි මා ලද එකම සුවේ

දිගින් දිගින් කාලය ගෙවුණා
මල් වැරුණා මංගල උයනේ
ලස්සන කෝ කොයි අද ද ගියේ
තනිවිය මා තරු ගිලුණු රැයේ

සතුට සැපත නැති වී නැති වී
අඳුරු වුණා මල්බර ජීවේ
තනිකම මා වට පැතිර සැදී
වීණා තත් සර මිහිර බිඳේ

පිසදාලා තනිකම ලෝකේ
ලොව නැහැ වූ සුගතිය ජලයේ
බුදුහිමි මම ඔබ හමුව ලොවේ
සටනට යන්නෙමි රැය ද දෙවේ

මින්දද හි සර වැදි සැලෙන හද නම් වූ ගීතය ද රන්නායකයන් විසින් ප්‍රබන්ධ කරන ලදුව ම විසින් තනු සපයා ගායානා කරන ලදුව එදා මෙදා තුර නොනැසුණු ජනප්‍රසාදයක් අත්කර ගත් ගීතයකි. මේ ගීතය නිර්මාණය වූ අවධියේ සමහරුන් මින්දද යන්නෙහි අර්ථය නොදැන සිටීම ගීතයේ ජන ප්‍රියත්වයට බාධාවක් නොවීය. එයින් මා කියන්නට අදහස් කරන්නේ වාච්‍යාර්ථය මෙන් එය ඉක්මවා සිටින ධ්වනි ගුණ ගීතයේ රුව ගුණ නඟා වඩා සරසාලන්නට ඉවහල් වන බවයි.

ගීතයක පරිසමාප්තිය දකින්නට නම් ගී පද හා ගී තනු අනුකූලතා පූර්වකව සංයෝග වී තිබිය යුතුමය. මේ ගීතයෙන් මතු වන භාව ධ්වනියට නාද ධ්වනි සැපයීමේ දී ම විසින් ඊට පෙරාතුව පැරකුම්බා සිරිතේ එන විරහාලාප පදය්‍යක් සඳහා සපයන ලද නාද රටා මසිතේ ලැගුම් ගෙන තිබිණ. බන්දා මින්දද මත අරවින්දා සරලා සර යානේ යනු එකී පැරකුම්බා සිරිත් පද්‍යයයි. මින්දද හීසර ගීතයට තනුව නිර්මාණය කිරීමේ දී රචකයා විසින් උපයුක්ත පද මට මහත් ආවේශයක් සැපයීය.

මින්දද හීසර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇහෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ

තුරඟකු පිට නැඟී නීල වලාකුළු
ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ
පිබිදෙන දෑසින් බලා හිඳිමි මම
කුසුම් සිනා කැන් හද පුරවා

මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළුපටින් මුදා
නෙත් මිණි පහනින් පහන් කරනු මැන
අනාගතේ මං පෙත පාදා

සිංහල ගීත වංසයට මෙතුවක් ම විසින් දායක කරන ලද ගීත සම්භාරය දෙස ආපසු හැරි බලන කල්හි මා තුළ මහත් සොම්නසක් හටගනී. ඊට හේතුව එම රචනා අතරින් බහුතරය කව් ලකුණින් විචිත්‍ර ව්‍යක්ත ගීත පද රචනා ම වීම ය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, අරිසෙන් අහුබුදු, මඩවල එස්. රත්නායක, මහගම සේකර, ඩෝල්ටන් අල්විස් ආදී ජ්‍යෙෂ්ඨ ප්‍රබන්ධකයෝ ස්වකීය මධුර කවි කල්පනා මා වෙත පිරිනැමූ හ. ඒවා පරිසමාප්ත ගීත බවට පත්කොට සිංහල ගීත ශ්‍රාවකයාට ආනන්දය සැලසීමට ඉඩ ප්‍රස්තාව ලැබීම මගේ භාග්‍යයකි. යට කී ප්‍රතිභාපූර්ණ සාහිත්‍යවේදීන් සමග අපමණ සහෘද්භාවයකින් බැඳෙමින්, ඔවුන් සමීප යෙහි රැඳෙමින් ඔවුන් ලියූ ගී සඳහා තනු නිර්මාණය කළ අයුරු මෙනෙහි කිරීම පවා අද දවසේ මා තුළ උපදවන ප්‍රසාද සංවේගය මෙතෙකැ යැයි කිව නොහැකිය.

මඩවල එස්. රත්නායක බෙහෙවින් සංවේදී හදවතක් ඇති මුදු ගුණ පිරි කලණ මිතුරකු ලෙස මම දැන හඳුනාගෙන සිටියෙමි. ඔහු ලියූ ගී පද රචනා මගින් ද ඒ මිනිස් ගුණ සුවඳ ම වහනය වනු වැන්න. ඔහු වඩාත් හොඳින් සුරු විරුකම් පෑවේ ද තමාට බෙහෙවින් සමීප වූ ගීත කලාව විෂයෙහි නොවේද රත්නායකයන් ලියූ එම ව්‍යක්ත ගී පද රචනා සිංහල ගීත කලාවේ අනාගතයට මං පෙත් පාදාලන මිණි පහන් පෙළක් සේ ගැනීම නිවැරදි කල්පනැවකැයි මට සිතේ.

පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී අමරදේව

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් විසින් සංස්කරණය කළ
මඩවල එස් රත්නායක සාහිත්‍ය නිර්මාණ විමර්ශන පොතෙන් උපුටා ගන්නා ලදී.

මම, ඔහු සහ ඔහුගේ නිර්මාණ

advertistmentadvertistment
advertistmentadvertistment