මයිකල් ජැක්සන් සමග රංගනයේ යෙදුන අපේ මහාචාර්යවරියක්

3303

මයිකල් ජැක්සන් මියගියත් ඔහුගේ නම තවමත් ජීවමානයි. පොප් සංගීතයේ රජ්ජුරුවෝ යන විරුදාවලිය ලබා සිටි මයිකල් ජැක්සන් සමග නර්තනයක යෙදීමට යමෙකුට අවස්ථාව ලැබුණේ නම් එය සුවිශේෂී හාස්කමක් තරමටම ප්‍රබලය. අපේ රටේ තරුණියක විසින් ඒ අවස්ථාව හිමිකර ගත් බැව් ඇසුවොත් ඔබද මවිතයට පත් වෙනු ඇති. අර්ථාන්විත ගීත ගායනය පමණක් නොව, ඔහුටම ආවේනික වූ විශේෂ නර්තන ඌරුව නිසා මයිකල් ජැක්සන් යනු සංගීතයේ වෙනම ලකුණක් බවට පත් වී තිබුණි. එවැනි චරිතයක් සමග යුගළ රංගනයක යෙදීමට අවස්ථාවක් ලද ඇය කවුද…?

ඇය යමුනා ස රසිවම් නම් වූවාය. ඇගේ පියා සිංගප්පූරු ජාතිකයෙකු වූ අතර මව මැලේසියානු ජාතික කාන්තාවක් විය. ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ උපත ලද යමුනා වයස අවුරුදු 9 ක් පමණ වෙන තෙක් ශ්‍රී ලංකාවේ වාසය කළාය. ඔවුන් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වන විට යමුනාගේ වයස අවුරුදු 9 ක් විය. බාල කාලයේ පටන්ම නර්තනය ප්‍රිය කළ ඇය වයස අවුරුදු 6 පමණ වෙන විට භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදාය හැදෑරූ අතර “ඔඩිෂා” ප්‍රාන්තයේ අධ්‍යාපනය ලබන කාලයේදී ඔඩිසි නර්තන සම්ප්‍රදාය හැදෑරුවාය.

1990 වසරේදී ඇමෙරිකාවේ මිනිඅපොලිස් මිනසෝටා විශ්වවිද්‍යාලයේ සංගීත විද්‍යාව සහ පියානෝ වාදනය සම්බන්ධයෙන් ප්‍රථම උපාධිය ලත් යමුනා 1992 වසරේදී නර්තනය පිළිබඳ ජනවාර්ගික විද්‍යාව සම්බන්ධයෙන් වූ උපාධිය ලබා ගත්තාය. 2000 වසරේදී සයිරකියුස් විශ්වවිද්‍යාලයෙන් මානව විද්‍යාව යටතේ දර්ශන විශාරද උපාධිය ලත් ඇය මේ වෙන විට නාසරෙත් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙසින් සේවය කරන්නීය. ඊට අමතරව යමුනා සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව අධ්‍යයන අංශවල කාන්තා සහ ලිංගිකත්ව අධ්‍යයන පිළිබඳ උපාධි වැඩසටහනේ අධ්‍යක්ෂවරිය ලෙසින්ද කටයුතු කරන්නීය.

  • මයිකල් ජැක්සන්ගේ ඔඩිෂන් එකක් තියෙනවා..

මේ ඇය කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයයි. යමුනා නර්තනයට උපන් හපන්කම් ඇති බැව් ඇගේ සරසවි මිතුරු මිතුරියන්ද දැන සිටියහ.

මයිකල් ජැක්සන්ගේ වීඩියෝ එකක නැටුම් ඔඩිෂන් එකක් අද තියෙනවා. අපි යනවා.. ඔයත් එනවද..?

ඇගේ සරසවි සගයන් විමසූහ. නමුත් ඇයට ඒ ගැන එතරම් උනන්දුවක් ඇති වුණේ නැහැ. මම ගෙදර ගිහින් අහලා කියන්නම්.. යමුනා කීවාය. නිවසට ගිය ඇය තාත්තේ මයිකල් ජැක්සන්ගේ වීඩියෝ එකක නැටුම් ඔඩිෂන් එකක් තියෙනවා. කැම්පස් එකේ මගේ යාළුවෝ යනවා. මාත් යන්නද..?

නමුත් පියාගේ නිහඬතාවයෙන් පෙනී ගියේ ඒ වෙනුවෙන් අවසරයක් නැති බවය. මේ වෙන විට ඇය නර්තනයේ මානව විද්‍යාව විෂයක් ලෙසින් හදාරමින් සිටියාය. කමක් නෑ දරුවට යන්න දෙමු. එයාගේ විෂයට අවශ්‍ය දැණුමට හොඳයිනේ.. අම්මාගේ අදහස එයයි. අවසානයේදී අම්මාගේ මැදිහත් වීම නිසා යමුනාට ඔඩිෂන් එක වෙනුවෙන් සහභාගි වීමට අවස්ථාව ලැබුණි.

  • ආසියානු කණ්ඩායමට..

මේ අවස්ථාවට සහභාගි වීම සඳහා තරගකරුවන් 3000 ක් පමණ සිටි අතර යමුනා අයත් වුණේ ආසියානු කණ්ඩායමටයි. මෙහිදී ඇය විසින් නර්තනයක් ඉදිරිපත් කළ අතර සම්මුඛ සාකච්ඡාවක්ද පැවැත්විය. ඒ සිදුවීම එදිනට එතැනින් අවසාන වුණත් වඩාත්ම සතුටුදායක දිනය එළැඹෙන්නේ ඉදිරියේදී බැව් ඇයට සිතුණේ නැත. සතියක් ගෙවී ගොස් අවසානය. සියල්ල අතීතයට එක් වුණත් මේ සිදුවීම එසේ අවසාන නොවීය. එක් දිනක් දුරකථනය ඔස්සේ ලැබුණ පණිවිඩය නිසා යමුනාට දැනුනේ ඇය වෙනම ලෝකයක පාවෙනවා වැනි සතුටකි.

අම්මේ මම ඔඩිෂන් එකට තේරිලා.. ඇය රිසීවරය නොතබාම කෑ ගැසුවාය.

මයිකල් ජැක්ස්න්ගේ “Black or White” ගීතය වෙනුවෙන් නර්තනයක යෙදීමට ඇයට අවස්ථාව උදාවිය. ලොස් ඇන්ජලිස් නගරයේදී මයිකල් ජැක්සන්ගේ සහ යමුනාගේ නර්තනය රූගත කරන ලදී. රූගත කිරීම් වෙනුවෙන් පැය 14 ක කාලයක්ගත විය. මේ කාලයේදී එම ප්‍රදේශයේ රථවාහන ධාවනය නවතා තිබුණ අතර දර්ශන තලයට අදාළ රථවාහන කීපයක් පමණක් ධාවනය විය.

1991 වසරේදී මෙම වීඩියෝව එළිදක්වන ලදී. රටවල් 27 ක ප්‍රදර්ශනය වුණ වීඩියෝව මිලියන 500 කට අධික පිරිසක් නරඹා තිබුණි.

මම මයිකල් ජැක්සන්ගේ ගීතවලට ආදරය කළා. ඒත් කිසිම දවසක ඔහු සමග නර්තනයේ යෙදෙන්න මට ලැබෙයි කියන හීනයක් හිතේ තිබුණේ නැහැ…. යමුනා ඇගේ ආත්මීය සතුට ඒ අන්දමින් වචනවලට පෙරළා ඇත.

බී.බී.සී. පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment