ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සැපයුම ශක්තිමත් කරන බව Sinopec අවධාරණය කරයි

34

සිරිමන්ත රත්නසේකර

Sinopec විසින් ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ වෙත සිය නිල ප්‍රවේශය 2023 සැප්තැම්බර් 25 වන දින කොළඹ දී දේශීය බෙදා හැරීමේ නියෝජිතයින් වෙනුවෙන් පැවති උත්සවයක දී නිවේදනය කරනු ලැබිණි. මෙම සුවිශේෂී අවස්ථාවේ දී Sinopec වෙතින් ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම ද සනිටුහන් විය. මෙහි දී Sinopec විසින් ශ්‍රී ලංකාව වෙත උපරිම ප්‍රතිලාභ ලැබෙන අයුරින් ක්‍රියාත්මක වන බවටත්, ස්ථාවර මෙන් ම අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ස්ථාපනය කරන බවටත්, තත්ත්වයෙන් උසස් තෙල් නිෂ්පාදන සපයන බවටත්, සිය බෙදා හැරීමේ නියෝජිතයින් සමඟ එක්ව මෙරට ආර්ථික සංවර්ධනය හා බලශක්ති ස්ථාවරත්වය වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා දෙන බවටත් අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ අත්සන් කෙරුණු ගිවිසුම ප්‍රකාරව, මෙරට ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් 150 ක් වෙත ඉන්ධන සැපයීමේ බලය Sinopec සමාගමට හිමි වන අතර, ඊට අමතරව පිරවුම්හල් 50 ක් සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් වසර 20ක බලපත්‍රයක් ද එම සමාගමට හිමි වී ඇත. එමෙන් ම ශ්‍රී ලාංකික ජනතාව සවි බල ගැන්වීම වෙනුවෙන් දේශීය බෙදාහැරීමේ ක්‍රියාවලිය, ගබඩා පහසුකම් සහ ඉන්ධන අලෙවි කිරීමේ සමස්ත ක්‍රියාවලිය අඛණ්ඩ ව වැඩිදියුණු කිරීම Sinopec සමාගමේ අරමුණයි. වාර්ෂික නිෂ්පාදන ධාරිතාව ටොන් මිලියන 250 ඉක්මවන, ලොව විශාලතම ඉන්ධන පිරිපහදු සමාගම ලෙස කීර්තිමත් Sinopec, තමා සතු සම්පත් හා ගෝලීය සබඳතා උපයෝගී කරගනිමින්, මෙරට පාරිභෝගිකයින්ගේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් අඛණ්ඩව කැප වෙයි. ස්ථාවර මෙන් ම තත්ත්වයෙන් උසස් ඉන්ධන සැපයුමක් ලබා දීම හරහා මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු ප්‍රධාන කර්මාන්ත ක්‍ෂේත්‍ර ශක්තිමත් කිරීමට ද Sinopec සමාගම බලාපොරොත්තු වන බව පැවසිය යුතුමය.

advertistmentadvertistment
advertistmentadvertistment