මරණ මංචකයේදී දුටු සුව සේවා සිහිනය !

497

ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන ක්‍ෂෙත්‍රවල පමණක් නොව රටේ විවිධාකාර ජනතාව අරතද ප්‍රබල මාතෘකාවක් බවට පත්ව තිබෙන ජාතික සෞඛ්‍ය සේවයේ බිඳ වැටීම දැන් උත්කර්ෂයට පත්ව තිබේ. සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට අධිචෝදනා පත්‍රයක්ද ඉදිරිපත් වී තිබෙන මෙම සෞඛ්‍ය අර්බුදයට අදාළ ඇමැතිවරයාත් ඔහු අයත් ආණ්ඩුවත් වගකීමට බැඳී සිටින බව සත්‍යයකි. එහෙත් එය මහජන සේවය විධිමත්ව හා කාර්යක්‍ෂමව පවත්වාගෙන යෑමට මෙතෙක් නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත්ව ඇති බවක්ද නොපෙනේ. සෞඛ්‍ය ඇමතිට අයෝමය ශක්තියක් ලබාදෙමින් ඔහුට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංගයක් පැරදවීමට සූදානම් බවට වාචාල කතා කියන රාජ්‍ය ඇමැතිවරුද, පුළුවන් නම් හැප්පිලා බලමු යැයි පොහොට්ටුවේ වේදිකාවල ඝෝෂා නගන ඇතැම් මුග්ධ මන්ත්‍රීවරුද අඩුවක් නොමැතිව සිටිති. එහෙත් රටම මරණ මංචකයක් කරා අදගෙන යන බිහිසුණු අනතුර පිළිබඳව සංවේදීවීමට තරම් මනසක් මේ බොහෝ දේශපාලන විකට රූපවලට නැතිවීම කෙබඳු අභාග්‍යයක්ද?

මෙම සෞඛ්‍ය සේවයේ බරපතළ බිඳවැටීමට තුඩු දුන් ප්‍රමුඛ සිදුවීම වූයේ පසුගිය දිනවල සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල වාර්තාවූ පේරාදෙණිය රෝහලේදී නොකල්හි නොසිතූ අයුරින් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ චමෝදි සංදීපනී මධුෂිකා නමැති විසිඑක් හැවිරිදි වියෙහි පසු වූ තරුණියගේ පුවතය. යොවුන් වසන්තය අබියස මලින්ම ජීවිත මල්වඩමක් දෝතින් තුරුලු කරගත් තරුණියක දියණියක යෙහෙළියක ලෙස ඇය විසින් ජනතා ඇස්වල රැඳවූ කඳුළු බිඳු කෙතරම්ද එවන් දුක් කඳුලක් බෙදාගන්නට තරම් අසංවේදී දේශපාලන යුගයක් මොනතරම් සාහසික දැයි කිවයුතු නැත.

ආණ්ඩුව කුමක් වුවත් ඒ ආණ්ඩුවේ ප්‍රමුඛතා ලේඛනයේ අංක එක බවට පත්විය යුතු කරුණු අතර නිදහස් මහජන සෞඛ්‍ය සේවයද තිබිය යුතු බව අපි කල්පනා කරමු. රටක සංවර්ධනය මැන බලන කරුණු අතර ආහාර, වාසස්ථාන හා සෞඛ්‍ය යන ඒවාද ප්‍රධාන වේ. සමාජ හා ආර්ථික විශේෂඥ වාර්තා අනුව බැලුවත් දැන් සෑහෙන කලක පටන් අපේ රටේ මේ හැම ක්‍ෂෙත්‍රයක්ම පරිහානියට පත්වී තිබෙන බවද රහසක් නොවේ. ඒ සියල්ලටම පොදු හේතුව ලෙස දැක්වෙන්නේ ද දූෂිත හා අමන දේශපාලනයයි. වරප්‍රසාද සහිත පන්තියකට හා ප්‍රභූවරුන් යැයි කියැවෙන දේශපාලනඥයන්ට ද මේ කිසිම දෙයකින් අඩුවක් නැති බවද අපි දනිමු. ඈත ගම් දොර රෑට වන අලි විපත්වලින් ජනයා බියට පත් වෙද්දී මැඳුරුවල රැකවල් මැද සුවසේ නිදි යහන්වල ගෙවන සුපිරි ජීවිත කෙතරම්ද? මේ සුපිරි ජීවිත හිමිකරුවන්ට මෙරටේ සෞඛ්‍ය සේවයද අදාළ නොවේ. ජනමාධ්‍යකරුවකු විසින් (රූපවාහිනී නාලිකාවක) සෞඛ්‍ය ඇමති කෙහෙළියට යොමු කරන ලද ප්‍රශ්නයක් වූයේ ඇමැතිවරයා අවසන්වරට මෙරටේ රෝහලකින් ප්‍රතිකාර ලබාගත්තේ කවදාද යන්නයි. ඔහු එයට දුන් වැනෙන සුළු පිළිතුර වූයේ තමන් බෙහෙත් ගෙන්වා ගන්නා බවකි. අප දන්නා තරමින් මෙරටේ බොහෝ දේශපාලනඥයන් සුළු ආබාධයකට වුවද ප්‍රතිකාර සඳහා යන්නේ සිංගප්පූරුවට හෝ එතෙර රටකටය. එහිදීත් බොහෝ විට වැය කරනු ලබන්නේ මහජන මුදල්ය. එහෙත් මෙරටේ සමස්ත ජනතාවගෙන් විශාල සංඛ්‍යාවක් ලෙඩට දුකට පිහිට පතා යන්නේ රජයේ රෝහලකටය ගමේ ඩිස්පෙන්සරියටය. ගම්වල තිබෙන ඇතැම් රෝහල් බෙහෙත් ශාලා හඳුන්වන්නේ දුන්නා මළා වර්ගයේ ඒවා ලෙසය.

දැන් ප්‍රශ්නය වී තිබෙන්නේ ප්‍රධාන රෝහල්වලද එබඳු තත්ත්වයක්ම උදාවීමයි. එයින් අප අදහස් කරන්නේ ගමේ එකාට එක විදිහකටත් නගරයේ තවත් විදිහකටත් සැලකිලි ප්‍රතිකාර ලැබිය යුතු බවක් නොවේ. ජීවිතය යනු කවර මිමි අනුව මිලක් නියම වුවත් ඒ හැම ජීවිතයක්ම වටිනාකම් අනුව සමානවිය යුත්තකි. ජීවත්වීමේ හිමිකම වරප්‍රසාදය මේ මිහිමත උපත ලබන මිනිසාට පමණක් නොව සතුන්ටද තිබිය යුතුය. මානව ශිෂ්ටාචාරයේ දිගු ගමනේ මිනිසා ලත් ජයග්‍රහණයන් සියල්ල මිනිසුන්ට සාධාරණව හා පොදුවේ හිමිවිය යුතු බව නූතන සමාජ දේශපාලනය විසින් පිළිගනු ලබන්නකි. මානවහිමිකම්, සාධාරණ සමාජය, සාරධර්ම ආදී සියල්ලක්ම ඒ මානව සමාජයෙහි පැවැත්ම උදෙසාය. එහෙත් ඒ සාධාරණ සමාජය කවදා උදාවන්නක්ද? එය වෙනම කතාවකි.

රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධුරයට වසරක් සම්පූර්ණ වී තිබෙන පසුබිමක වුවද රටේ සමාජ දේශපාලන ක්‍රියාවලිය සාධනීය ලෙස වෙනසකට භාජනය වී ඇතැයි කිව හැකිද? ජනාධිපතිගේ ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාන්විතය දෙස භක්තිමත් හා සාධනීය ප්‍රතිචාර දක්වන පිරිස්ද සිටිති. එහෙත් ඒ සමගම රට තුළ වැඩෙන සෞඛ්‍ය හා ගොවි ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව ගැඹුරු අවධානයක් යොමු වී නැත. කුමක් වුවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සංවිධාන විසින් මෙම සෞඛ්‍ය බලධාරීන් වෙත ඉදිරිපත් කරනු ලබන චෝදනා පත්‍රය බරපතළය. පේරාදෙණිය රෝහලේදී එන්නතක ප්‍රශ්නයක් නිසා මියගිය තරුණියගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා ගිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මතභේදයට තුඩු දුන් ඖෂධය පිළිබඳ කළ විශ්ලේෂණයද ගැටලු සහගත බව කියති. එසේම මෑතකදී රජයේ රෝහල්වල සිදුවී තිබෙන මරණ හා රෝගීන්ට විඳ ගැනීමට සිදුවූ විපාක වළක්වා ගැනීමට හැකි වූ දේවල් බවද ඇතැම් වෘත්තිකයෝ පවසති. ඇස් රෝගයකට ප්‍රතිකාර ගැනීමට ගිය රෝගීන්ට සදාකාලිකවම දෑස් අහිමිවීම කෙබඳු විපතක්ද? ඇස් අහිමිවීම ද ජීවිත අහිමිවීමකට පමණක් දෙවෙනි වන ඛේදවාචකයකි. සිය ජීවිතයම අන්ධකාර ලොවකට ඇද දැමූ ඒ අයගේ ඉරණමට වගකිව යුතු බලධාරීහු සුපිරි ජීවිත ගෙවන්නෝ නොවෙත්ද?

සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටීම යනු සුළුවෙන් තැකිය යුතු දෙයක් නොව සමස්තයක් ලෙස රටේ බහුතර ජනතාව වෙත නිකුත් වී තිබෙන මරණ නිවේදනයක් බව අපගේ අදහසය. වෛද්‍යවරුන් රට හැර යෑම, නිසි සුදුසු විශේෂඥයන් හිඟවීම මෙන්ම ඖෂධ නියාමන කමිටුව සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා නිසැකයෙන්ම අදාළ ඇමැතිවරයාටත් ආණ්ඩුවටත් මගහැර යා නොහැකිය. ඖෂධ නියාමනයක් නොමැතිව බාල ඖෂධ ගලා ඒම අද තිබෙන බරපතළ ප්‍රශ්නයක් බව පෙනී යයි. මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ ඒ සඳහා සුදුසුකම් සහිත විශේෂඥ මහාචාර්යවරයකු පවා අදාළ අංශයට නොවූ බවකි. එසේම එයට කෙරෙන දේශපාලන ඇඟිලි ගැසීම් ගැනද වාර්තා විය. විවිධ වෘත්තිකයන්, සාමජ ක්‍රියාකාරීන් පමණක් නොව විපතට පත් හා ජීවිතවලින් වන්දිගෙවූ අයගේ පවුල්වල සාමාජිකයන් විසින්ද කරනු ලබන විවේචනවල ඉලක්කය සෞඛ්‍ය ඇමැතිවරයාත් ආණ්ඩුවත්ය.

සෞඛ්‍ය අර්බුදය පමණක් නොව ඕනෑම අර්බුදයකදී එයට අදාළව ප්‍රතිචාර දක්වන ඇමැතිවරයා හා ආණ්ඩුව වඩාත් යොමු වන්නේ ප්‍රශ්නයෙහි ගැඹුර විමර්ශනය කිරීමට වඩා එය දේශපාලනිකව පරාජය කිරීම කෙරෙහිය. ආණ්ඩුව යොමු වී සිටින බලය රැකගැනීමේ ව්‍යාපෘතිය ගැන විනා ඉන් පිටත සිදුවන බොහෝ දේ ඔවුන්ගේ අවධානයෙන් ගිලිහී ගොස් ඇත. ඉන් එකක් වන්නේ මෙම සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයයි. වෛද්‍යවරුන් හා වෙනත් වෘත්තිකයන් අද යොමුව සිටින්නේ රට හැරදමා ගොසින් හෝ තමන් හා තම පවුල් රැකගැනීමට බව නිසැකය.

නිදහස් අධ්‍යාපනය නමින් වෙන්වූ මහජන මුදල්වලට ගුරුණය ගෙවීමට අද උගත්හු උනන්දු නොවෙති. එයට ප්‍රධාන හේතුව මේ තක්කඩි හා දූෂිත දේශපාලන ව්‍යාපාර බව අමුතුවෙන් කිවයුතු නැත. අධ්‍යාපනයට වැය කරන ජාතික ධනයෙන් රටට සේවයක් ලබාගත හැකි මාවතක්ද නැති පසුබිමක රට හැරයන අයට දොස් කීමද සාධාරණ නොවේ. එහෙත් කිසිදු හව්හරණක් නැති පීඩිත ජීවිතවල දුක්මුසු ඉරණම කෙරෙහි මේ හැමදෙයක්ම ගැටගැසී තිබෙන බවද අප පෙන්වා දිය යුතුය. බුද්ධි ගලනය යනු ශ්‍රී ලංකාව වැනි රටකට ඔරොත්තු නොදෙන මෙන්ම දරාගත නොහැකි අභියෝගයකි.

මරණ මංචකයේදී දුටු සුව සේවා සිහිනය !

කෙසේ හෝ වේවා සෞඛ්‍ය සේවය මෙතරම් අගාධයක් කරා ඇදී යන තෙක්ම වගේ වගක් නොමැතිව සිටි පිරිස් කවරහුද? ඔවුන්ගේ කටයුතු කළමනාකරණය නොකිරීමෙන් අදාළ ඇමැතිවරයා සිය වගකීම් පැහැර හැර සිටින්නේද යන කරුණුවලට ආණ්ඩුව පිළිතුරු දිය යුතුය. සෞඛ්‍ය සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ වගකීම කැබිනට් මණ්ඩලයට හා එහි ප්‍රධානියා වන ජනාධිපතිවරයාට පැවරේ. මෙබඳු විනාශයන් සිදුවී අර්බුදය උග්‍රවන තෙක් මේ සියල්ලෝම නිදා සිටියෝද? ඇත්ත වශයෙන්ම මෙරටේ අනෙක් හැම ක්‍ෂෙත්‍රයකටම ආවේණික දුබලතා සියල්ලක්ම සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයෙහි තිබීම ද අරුමයක් නොවේ. එහෙත් අද උත්කර්ෂයට පත්ව තිබෙන සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයෙහි වගකීම් විරහිත බවට සෞඛ්‍ය ඇමති වගකිව යුතු බව එම සේවයෙහි නිරතව සිටින විද්වත්හු මෙන්ම අනෙක් වෘත්තිකයෝද පුන පුනා කියති. මෙහිදී එම ක්‍ෂෙත්‍රය විසින්ම ඉදිරිපත් කරන ලද වැදගත් කරුණක් ඇත. රෝහල් තුළ සිදුවන ශල්‍යකර්ම හා ඖෂධ විෂවීම් හේතුවෙන් සිදුවන මරණ පිළිබඳව හෝ වෙනත් බොහෝ දේ සම්බන්ධයෙන් වුවද පැමිණිලි කිරීමට අවකාශයක් හෝ විධිමත් ක්‍රමවේදයක් නැති බවය. මේ වන විටත් ඇතැම් ග්‍රාමීය රෝහල්වල හා බෙහෙත් හල්වල සිදුවන මරණ හා දුර්විපාක මාධ්‍යවලට හෝ හෙළි නොවේ. කාර්ය මණ්ඩලවල නොසැලකිලිමත් බව මෙන්ම නොසණ්ඩාල ක්‍රියා නිසා සිදුවන විපත්ද ඇත. එසේම රෝහල්වලට පහසුකම් නැතිවීම, කාර්යමණ්ඩලවලට තර්ජන එල්ලවීම ආදිය ගැනද වාර්තා තිබේ.

මේ වනවිට ප්‍රධාන රෝහල්වල පවා වෛද්‍ය උපකරණ නැති බවත් ඇතැම් රෝග නිරීක්‍ෂණවලට අදාළ මෙවලම් අක්‍රියවී තිබෙන බවත් වාර්තාවී තිබේ. එහෙත් ඒවා පිළිබඳව වුවද නිශ්චිත තොරතුරු නැත. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය වසාගත් පටු දේශපාලන මෙහෙයුම් මෙන්ම ඥාතිමිත්‍ර සංග්‍රහ, ලාභ ප්‍රතිලාභ උපයා ගැනීම ආදී නිධන්ගත රෝග මෙම සෞඛ්‍ය සේවය තුළ තැන්පත්ව තිබේ. ඇමැතිවරුන්ට ඔවුන්ගේ සමීපතමයන්ට අභිමත පිරිදි බොහෝ කටයුතු සිදුවන ප්‍රවණතාව අදත් තිබේ. දූෂිත නිලධාරීන්ගෙන් සමන්විත චෞර වළල්ලක් සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයටද තිබෙන බව එයට එල්ලවී තිබෙන චෝදනා විවේචන අපට පෙන්වා දෙන්නකි. ඒවා විභාග කර මහජන අපේක්‍ෂා ඉටු කිරීමක් සෞඛ්‍ය සේවයෙහිද නැත. අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වසා දැමීමට හපන්නු මේ රාජ්‍ය සේවාවල සුලභව සිටිති. මොන වරදක් අඩුපාඩුවක් සිදු වුවත් ඒවා දෙස ඇසක් හැර බලන්නේද ජීවිත දෙක තුනක්වත් බිලි දීමෙන් පසුවය. මේ දූෂිත හා අක්‍රමිකතා බහුල යැයි කියද්දී බීරි අලියකු සේ සිටි ඇමැතිවරයා දැන් විශේෂ කමිටුවක්ද පත්කර තිබේ. එයින් සිදුවන ප්‍රතිඵලය කුමක් වුවත් මේ විනාශයේ ගොදුරු බවට පත්වූ කිසිවකුට ඉටුවිය හැකි යුක්තිය කුමක්ද? කමිටු කමිටු කෙළවරක් නැති කමිටු යැයි සමහරුන් පවසද්දී අපට සිහිවන්නේ ෂේක්ස්පියර්ගේ හැම්ලට් කීවාක් මෙන් වචන… වචන… වචන හා තවත් වචන යන සංවාදය පමණි. හොඳයි අපි දෑස් හැර අවදියෙත් සිටිමු. සෞඛ්‍ය සේවය හැදෙයිද? සෞඛ්‍ය ඇමැතිවරයා විසිවෙයිද? ඇමැතිවරයා නම් කියන්නේ අභියෝග හමුවේ පලා නොයෙන බවය. එහෙත් ජනතාවට නම් සිදුව ඇත්තේ රෝහල් ගැන මතක් කළ විටත් පණ එපා කියා පැන දිවීමටය. අපි බලා සිටිමු. තවත් බොහෝ දේවල් රටටත් අපිටත් දැන ගැනීමටත් දැක බලා ගැනීමටත් ඉදිරි කාලයේදී අවස්ථාව ලැබෙනු ඇත.

මේ සෞඛ්‍ය සටන් හා රෝහල් කාර්ය මණ්ඩල අතර සංග්‍රාමික තතු උත්සන්න වෙද්දී රටේ ආර්ථික අපේක්‍ෂාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධ ක්‍රියාන්විතයද තරමක් ප්‍රශ්නකාරී වී තිබේ. වෙරිටේ රිසර්ච් ආයතනය ඒ පිළිබඳ කළ නිවේදනයකට අනුව නම් එම වැඩසටහන වෙනුවෙන් සපුරාලිය යුතු කොන්දේසි සෑහෙන ප්‍රමාණයක් ඉටු වී නැත. IMF මීටරය අනුව ඉටුවිය යුතු කොන්දේසි හා වෙනත් තොරතුරු අනාවරණය වී ඇතැයි පවසන එම වෙරිටා රිසර්ච් වාර්තාව සඳහන් කරන්නේ නීති සම්මත කිරීම හා තොරතුරු බෙදාහැරීම යන කරුණු ද ආණ්ඩුවේ අවධානයට යොමුවී නොමැති බවය. අයි.එම්.එෆ් (IMF) මීටරය නමැති දර්ශකය අනුව ශ්‍රී ලංකාව විසින් ඉටුකළ යුතු කරුණු 8 ක්ම ඇතැයිද සඳහන් වේ. සුරාබදු සංශෝධනය ශ්‍රී ලංකා මහ බැංකු පනත හා දූෂණ විරෝධී පනත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණත් ඒවා සම්මත වී නැති බවද එම නිවේදනයෙහි දක්වා තිබේ.

ආණ්ඩුවේ මෙබඳු ප්‍රතිචාර පිළිබඳව අපට නිශ්චිත යමක් කිව නොහැකි වුවද මේ වනවිට ඔවුන්ගේ දේශපාලන න්‍යායපත්‍රයෙහි අංක එක බවට පත්ව තිබෙන්නේ වෙනත් කරුණු බව නම් පෙනී යයි. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට අවශ්‍යවී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකි තරම් සීමා කරමින් හැකිතාක් කාලයක් බලයේ සිටීමද යන සැකය දැන් සමාජය තුළ මෙන්ම ජනතාව අතරද නැගී තිබේ. දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතීන් පිළිබඳ පරිණත හා ජ්‍යෙෂ්ඨයන් ස්වල්ප දෙනෙක් හෝ සිටිතියි කල්පනා කළ හැකි පොහොට්ටුව අද තමන්ගේ අත්වලින්ම තම දේශපාලන මිනීවළ හාරමින් සිටින්නෙහිද යන කුහුලද අපට ඇත. ගැඹුරු දේශපාලන විඥානයක් තබා දේශපාලන සාරධර්ම පිළිබඳව හෝ කියැවීමක් තිබෙන පක්‍ෂයකට තම අපරිණත දේශපාලන වලිග භාවිත කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට සරදම් කළ හැකිද? සැබැවින්ම පළාත් පාලන මැතිවරණය කල්දමා යළිත් ඒවායේ සිටි නිලබල කැඳවා ජනතා අභිමතයට කොකා පෙන්වීම ගැන පොහොට්ටුවේ නායකයෝ කුමක් කියත්ද?

අනෙක් වැදගත්ම කරුණ වන්නේ ආර්ථික බංකොලොත් භාවයට තුඩු දුන් හේතු ප්‍රතිචාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු කමිටුව පිළිබඳ සංවාදයයි. එයට සහභාගි නොවීමට ජ.වි.පෙ. විජිත හේරත් තීරණය කර තිබෙන අතර සජබයද එයට දායක නොවී වෙනම කිමටුවක් ලෙස එම කරුණ පිළිබඳ පරීක්‍ෂා කරන බවක්ද නිවේදනය කර ඇත. ආණ්ඩුවේ සෑහෙන සංඛ්‍යාවකට මෙන්ම විපක්ෂවලට අයත් සමහරුන්ටද දූෂණ, අයථා ක්‍රියා, බලය අවභාවිතාව වැනි කරුණු මෙන්ම අල්ලස් චෝදනාද එල්ලවී තිබෙන බව රහසක් නොවේ. ඔවුන්ගේ ජීවන රටා, වත්කම් ආදියද ප්‍රශ්න කරන අයද සිටිති. පසුගිය දිනක පොහොට්ටුවේ ඉදිරි පෙළ නායකයෙක් පැසුවේ ජ.වි.පෙ. අනුර කුමාරලාගේ දේශපාලනයද තමන්ගේ දේශපාලනයට සමාන එකක් බවය. ඔහුට අනුව හැන්දෑවට අඩියක් ගසා සැහැල්ලුවෙන් කෙරෙන දේශපාලනය කාටත් පොදු බවය. ඒවා තෝරා බේරා ජනතාවට නිගමනවලට බැසීමටද බාධාවක් නැත. එහෙත් පොහොට්ටුවේ සමහරුන් පවසන ආකාරයට අනුර කුමාරගේ ඉනේ බඳින පටිය හෙවත් බෙල්ට් එකට වඩා මල්වානේ හෝ වෙනත් තැනක තිබෙන මාලිගාවක් පිළිබඳ ප්‍රශ්නය දේශපාලනික වශයෙන් වැදගත් නොවේද? පැන්ඩෝරා පත්‍රිකා, මහබැංකු වංචා, හා කිළිටි ටෙන්ඩර් ගනුදෙනු රටක ආර්ථිකයත් කෙරෙහි බලපා නැතැයි කිව හැකිද? එහෙත් මේ දේශපාලනය කබෙඳුද?

අද සාමාජය ඉල්ලා සිටින දේශපාලන සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණවලට නිසි ප්‍රතිචාර දැක්වීමට මේ පාලනය සමත් වන්නේද යන ගැටලුව බොහෝදෙනෙකුට තිබේ. දශක කීපයක් මුළුල්ලේ දේශපාලනයෙහි සක්‍රීය ලෙස සිටිමින්ද ඇමැතිධුර හත අටක් හෝ ඊටත් වඩා උසුලමින්ද සිටි සෑහෙන පිරිසක් මෙම පාර්ලිමේන්තුවද නියෝජනය කරති. රටක සමාජ ආර්ථික දේශපාලන ආදී හැම ක්‍ෂෙත්‍රයක්ම ගරා වැටුණේ ද මේ බොහෝ දෙනෙකුගේ ඇස් ඉදිරිපිට නොවේද? එහිලා තමන්ගේ නිවැරදි බව දේශපාලනයේ පවිත්‍රත්වය පිළිබඳ සැබෑ තක්සේරුවක්ද ඔවුන්ට තිබිය යුතුය. එසේ නම් රටක් බංකොලොත්වීම වැනි බැරෑරුම් කරුණක් පිළිබඳව සොයාබලා වාර්තා කිරීමට තමන්ට හැකිද? එබඳු කාර්යයක් සඳහා හෘද සාක්ෂියට එකඟව දායක විය හැකිද යන්නත් නිසැකවම දන්නේද ඒ අයම පමණි. අපට කිසිවෙකුට ආඩපාලි කීමට අවශ්‍ය නැත. විදේශ ඇමැති පැවසූ හුණු කිල්ලෝට උපමාව ඉතා නිවැරදිය. තවත් උපහරණයකින් කිවහොත් මේ බොහෝ විවේචන මුට්ටියේ කළුපාට ගැන හට්ටිය හිනාවීම හා සමානය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment