මරදාන අලවි මවුලානා ශාලාව බලෙන් අල්ලා ගැනීම උසාවියෙන් තහනම් කරයි

59

මරදාන, සුදුවැල්ල, ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි කොළඹ මහ නගර සභාවට අයත් අලවි මවුලානා උත්සව ශාලාව හිටපු නාගරික මන්ත්‍රිවරයකු වන කිත්සිරි රාජපක්ෂ නමැත්තා විසින් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට දරන වෑයම වහාම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (26දා) තහනම් නියෝගයක් නිකුත් කළේය.

හිටපු නාගරික මන්ත්‍රිවරයකු වන අජිත් ශ්‍රී පෙරේරා මහතා විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා ලබන 4 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම් නියෝගය නිකුත් කළේය.

ප්‍රදේශවාසි අඩු ආදායම්ලාභි ජනතාව බහුතරයක් සිය උත්සව අවස්ථා සඳහා භාවිත කරන එම උත්සව ශාලාව වටා විශාල තාප්පයක් ඉදිකරමින් අනිසි ලෙස එය අත්පත් කර ගැනීම නිසා ප්‍රදේශවාසීන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. නීතිඥ සංජීව කළුආරච්චි මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අස්ලාම් අලව්ඩීන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ පුලස්ති රූපසිංහ යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා පෙනී සිටියහ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ මහ නගර සභාව, එහි කොමසාරිස්වරිය, හිටපු නාගරික මන්ත්‍රි කිත්සිරි රාජපක්ෂ ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment