මහ බැංකු ලොක්කෝ අනිද්දාට පක්ෂ නායකයන් හමුවට

69

මහ බැංකු නිලධාරීන් සේවයෙන් ඉවත්ව යෑම වළක්වා ගැනීමේ අරමුණින් සාධාරණ මට්ටමේ වැටුප් ඉහළ නැංවීමක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සහ මහ බැංකු කළමනාකාරිත්වයේ අදහස වී ඇත.

පසුගිය කාලයේ පළපුරුදු මහ බැංකු සේවකයන් මහ බැංකු සේවයෙන් ඉවත්ව යෑම කැපී පෙනෙන ලෙස ඉහළ ගිය බවද එදිනෙදා අත්‍යවශ්‍ය මහ බැංකු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම අභියෝගයක් වූ බව ද මහ බැංකුව පෙන්වා දෙයි.

අනෙකුත් රාජ්‍ය ආයතනවලට සාපේක්ෂව වඩා ඉහළ සුදුසුකම් සහිත පුද්ගලයන් බඳවා ගැනීම සහ අදාළ ක්‍ෂේත්‍රවල නිපුණතාවය ඉහළ නැංවීම සඳහා එලෙස බඳවා ගන්නා සේවකයින් පුහුණුකොට රඳවා ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන බව ද මහ බැංකුව සඳහන් කරයි.

මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ගේ වැටුප් මත සියයට 36 ක ඉහළ බද්දක් රජයට ගෙවන නිසා ඔවුන් ලබන ශුද්ධ වැටුප සියයට 70 ට වඩා බෙහෙවින් අඩු බවද වාර්තා වේ.

මහ බැංකු නිලධාරීන් අනිද්දා (05) උදේ 10.30ට පාර්ලිමේන්තු පක්ෂ නායකයින් හමුවට කැඳවා ඇති අතර එහිදී මේ වැටුප් වැඩිකිරීමට අදාළ සියලු තොරතුරු හෙළිකිරීමට මහ බැංකුව සූදානමින් සිටින බවද ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට වාර්තා වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment