මැණික් ව්‍යාපාරිකයාගේ අවු. 2 දැරියට වැඩකාරිය අමානුෂික ලෙස පහරදීලා

837

ඔක්කම්පිටිය පොලිස් වසමට අයත් කදුරුවැලෑන ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසක දියණියන් දෙදෙනෙකු බලාගැනීමට පැමිණි කාන්තාවක් අවුරුදු දෙකයි මාස තුනක් වයසැති දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් පිළිබඳ ඔක්කම්පිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

නිවසේ හිමිකරු මැණික් ව්‍යාපාරිකයෙකු වන අතර බිරිඳ බැංකු සේවිකාවකි.

ඔවුන්ට අවුරුදු තුනයි මාස දෙකක් හා මාස නවයක් වයසැති දියණියන් දෙදෙනෙකු සිටී. නිවැසියන් නිවසේ වැඩකටයුතු සඳහා කාන්තාවන් දෙදෙනෙකුගේ සේවය ලබාගෙන ඇත.

එක් කාන්තාවක් ඉවුම්පිහුම් කටයුතුවලටත් අනෙක් කාන්තාව දරුවන් දෙදෙනා බලා ගැනීමටත් යොදවා ඇත.

අවුරුදු දෙකයි මාස තුනක් වයසැති දැරියගේ හැසිරීම අනුව දරුවා කිසියම් අසහනයකින් පෙළෙන බව තේරුම්ගත් දැරියගේ මව ඇයගේ ජංගම දුරකථනය පටිගතකිරීම සඳහා නිවස ඇතුළත තබා රාජකාරි කටයුතුවලට පිටව ගොස් ඇත.

පසුව පැමිණ ජංගම දුරකථනයේ පටිගතව ඇති ශබ්ද පරික්ෂා කිරීමේදී සේවිකාව විසින් දරුවාට අමානුෂික ලෙස පහරදී බැන වදින ආකාරයත් දරුවා හඬන ආකාරයත් පටිගතව ඇත.

සිද්ධිය පිළිබඳ ඔක්කම්පිටිය පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඔක්කම්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය පිළිබඳව චන්ද්‍රා නමැති එම කාන්තාවගෙන් විමසීමේදී ඇය නිශ්ශබ්දව නිවසෙන් පිටව ගොස් ඇත.

සිද්ධිය පිළිබඳව ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති ජේ.සී.ඒ බැසිල් කුමාර මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment