මියගිය ශ්‍රී ලාංකික පවුල කැනඩාවේදී සිහිපත් කෙරෙති

118

කැනඩාවේදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික පවුල වෙනුවෙන් සිහිපත් කිරීමේ උත්සවයක් ඔටාවා අගනුවරට තදාසන්න බාර්හෙවන් ප්‍රදේශයේ වික්‍රමසිංහ පවුල පදිංචිව සිටි නිවසට ආසන්නයේ පිහිටි උද්‍යානයක සෙනසුරාදා (9දා) පස්වරුවේ පැවැත්වුණි. එයට මහා සංඝරත්නය, ප්‍රදේශවාසීන්, දෙරටේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු 300කට ආසන්න පිරිසක් සහභාගි වූහ. වික්‍රමසිංහ පවුලේ හිතවතුන් මෙන්ම ප්‍රදේශවාසී කැනඩා වැසියන් මේ විපත ගැන බොහෝසෙයින් ශෝක වන අයුරු ද සමහරු කඳුළු සලන අයුරුද මෙහිදී දක්නට ලැබිණි.

මේ අතර සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුලේ ඥාතීන් ඉදිරි දින කිහිපයේදී එරටට පැමිණීමෙන් පසු අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇතැයි කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ නවරත්න මහතා පවසා තිබේ.

එකම පවුලේ සාමාජිකයන් පස් දෙනකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 06 දෙනකු කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බාර්හෙවන් ප්‍රදේශයේ සිය නිවස තුළදීම සාහසික ලෙස ඝාතනයට ලක්වුණේ පසුගිය 06 වැනිදා රාත්‍රියේදීය. ප්‍රහාරයෙන් දිවිබේරා ගෙන බරපතළ තුවාල ලැබූ ධනුෂ්ක වික්‍රමසිංහ මේ වනවිට ශල්‍යකර්ම දෙකකට යොමුකර ඇති තිබේ. මේ අතර විත්තියේ නීතිඥ මයිකල් ජොන්ස්ටන් මෙලෙස අදහස් දක්වා තිබිණි.

“මෙම සිද්ධියේ පවතින පිළිකුල දනවන ස්වභාවය නිසා, යමෙකුගේ මානසික සෞඛ්‍ය ගැන ප්‍රශ්නයට නැගෙන්න පුළුවන්. එමෙන්ම චූදිතයාට නඩු විභාගයට පෙනී සිටීමට ඇති යෝග්‍යතාව හඳුනාගන්නා සහායක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙම චෝදනාවලට ලක්වෙන්න තරම් දායක වුණු මානසික ආබාධයක් තිබුණද නැද්ද කියලත් හොයාගන්න පුළුවන් වෙයි.”

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment