පිටසක්වළ ජීවීන් පිළිබඳ සිහිනයෙන් ලෝකයා කී වරක් නම් අවදිවනවාද? සක්වළින් එපිට සක්වළ පිළිබඳව, ජීවීන් පිළිබඳව ඇති කුහුල මානව ශිෂ්ටාචාරයේ මූලාරම්භයේ සිට ම ඇතිවූවකි. විද්‍යාවේ දියුණුවත් සමග මේ කුහුල වැඩිවෙමින් පවතින අතර ඒ ගැන සෙවීමට කැපවී සිටින රාජ්‍යයන් සහ විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගන්නා කරුණු ද වැඩිවෙමින් පවතියි.
අමෙරිකාව පිටසක්වළ ජීවීන් පිළිබඳ දැඩි විමසිල්ලකින් සිටින්නේ ලෝක බලවතා ලෙසින් සිය රාජ්‍යයට මේ ආගන්තුක ජීවීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවේදැයි යන සැකය රජයන බැවිනි. ඔවුන් නිරාවරණය කර ගන්නා රහස් ලොවට රහසක් වශයෙන් තබා ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද මෑතකදී ඒ ප්‍රතිපත්තිය තරමක් වෙනස් කර ගනිමින් එරට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පිටසක්වළ යානා හෙවත් ආගන්තුක පියාඹන ද්‍රව්‍ය ලෝකයේ වැඩි වශයෙන් ම දැකිය හැකි තැන් හෙළි කිරීමට පෙළඹිණි. ඔවුන් 1996 සිට 2023 දක්වා ලෝකය පුරා දක්නට ලැබුණු ආගන්තුක පියාඹන ද්‍රව්‍ය ඇසුරින් කළ අධ්‍යයනයෙන් වැඩි වශයෙන්ම පිට සක්වළ ජීවීන් යන එන තැන් හෙළිකර තිබේ.
පෙන්ටගන් ප්‍රධානී සෝන් කර්ක්පැට්‍රික් පවසන පරිදි ලොව පුරාම ලෝහමය පියාඹන ද්‍රව්‍ය දක්නට ලැබී තිබෙයි. එහෙත් වැඩි වශයෙන් ම මේවා පැමිණෙන ස්ථාන වී තිබෙන්නේ ජපානයේ හිරෝෂිමා, නාගසාකි, ෆුකුෂිමා සහ අමෙරිකාවේ කැලිෆෝනියාවේ නැගෙනහිර, බටහිර වෙරළ තීරයන් ය. මීට අමතරව ඉරාකය සහ සිරියාව ද ඇතුළුව මැද පෙරදිග ද පිටසක්වළ යානා වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන අතර තිබෙයි.
● ෆුකුෂිමා හි “පිටසක්වළ ජීවීන් ගේ නිවහන”
1945 වසරේ දී අමෙරිකාව විසින් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමත් සමග වර්තමානයේ පවා කතා බහට ලක්වන නගර දෙකක් බවට පත්වූ හිරෝෂිමා – නාගසාකි පිටසක්වළ ජීවීන් ගේ සිත් ගත් තැන් බවට පත්වී ඇත. එහෙත් එරට වඩාත් ම පියාඹන ආගන්තුක ද්‍රව්‍ය දැකිය හැකි ස්ථානය වී තිබෙන්නේ ෆුකුෂිමා ප්‍රාන්තයේ ලිනොමකි නගරයයි. එයට “පිටසක්වළ ජීවීන් ගේ නිවහන” යනුවෙන් අන්වරථ නාමයක් ද පටබැඳී තිබෙයි. නගරයේ සෙන්ගන්මොරි කන්ද පිටසක්වළ ජීවීන් ගේ කාන්දම බවට පත්වී ඇත. අඩි 1,515 (මීටර් 462 ක්) ක් උස සෙන්ගන්මොරි කන්ද පිරමිඩාකාර අද්භූත හැඩයකින් යුක්ත ය. කන්ද පිහිටා ඇත්තේ ප්‍රබල කාන්දම් බලයක් ඇති භූමි භාගයක යි. එබැවින් කන්ද පිටසක්වළ ජීවීන්ට ඇන්ටනාවක් (ස්පශර්කයක්) ලෙස ක්‍රියා කරන බවට අනුමාන කෙරෙයි. නගරවාසීන් අතර කන්ද සම්බන්ධ විවිධ කටකතා පවතියි. සමහරු කන්ද පිහිටා ඇත්තේ පිටසක්වළ ජීවීන් ගේ කඳවුරක බවට විශ්වාස කරති.
ෆුකුෂිමා ප්‍රාන්තයේ ලිනොමකි නගරයේ සංචාරය කරන්නන්ට සිතෙන්නේ ද තමන් පිටසක්වළ පුරවරයකට පැමිණි බව ය. නගරයේ පිවිසුම් දොරටුවේ පිටසක්වළ යානාවල හැඩයට සාදන ලද කුටියක් දක්නට තිබෙයි. එපමණක් නොව එහි සැරිසරන්නන්ට පිටසක්වළ කොඩි, පිටසක්වළ බස්නැවතුම් පොළවල් වාගේ ම පිටසක්වළ ජීවීන් ගේ ප්‍රතිමා ද දැකිය හැකි ය. 2011 වසරේදී තොහොකු සුනාමියෙන් දැඩි ලෙස හානියට පත් ෆුකුෂිමා නගරයේ න්‍යෂ්ටික කාන්දුවීම් නිසා දැකිය හැක්කේ විකෘති ශාකයන් සහ කෘමීන්ය. එනිසා එහි සංචාරය කරන්නකුට තමන් මිහිපිට අලුත් ම ලෝකයකට පිවිසුණු බව දැනුණොත් පුදුමයක් නො වෙයි.
දුරාතීතයේදී ද සෙන්ගන්මොරි කන්දට පිටසක්වළ ජීවීන් පැමිණෙන්නට ඇත. එහෙත් ඒ පිළිබඳ වාර්තා කිරීම ඇරැඹුණේ 1972 දී ය. ඒ වසරේදී සුගියෝ කිනොෂිතා තරුණයා මිතුරන් සමග ගමන් කරද්දී අයිස්ක්‍රීම් කෝනයක හැඩය ගත් විශාල ආලෝකයක් නිකුත් කරන ද්‍රව්‍යයක් දැක ඇත. එය මොහොතකින් අහසට පියඹා අතුරුදන් වී තිබෙයි. මේ සිදුවීමෙන් පසු කිනොෂිතා සිය දිවිය ම කැපකර තිබෙන්නේ මෙවැනි අද්භූත පියාඹන ද්‍රව්‍ය අධ්‍යයනය කිරීමට ය. 1992 වසරේදී “UFO Fureaikan” කෞතුකාගාරය විවෘත කෙරුණු අතර පිටසක්වළ ජීවීන් පිළිබඳ කෘති, සේයාරූ වාගේම පිටසක්වළ ජීවීන්ට අයත් යැයි සලකන ද්‍රව්‍ය 3000ක් පමණ ද මෙහි සුරැකිව තිබෙයි. වසරකට විශාල පිරිසක් කෞතුකාගාරය නැරැඹීමට පැමිණෙති.
අහසේ පියාඹන ආගන්තුක ද්‍රව්‍ය පිළිබඳ අන්තර්ජාතික රසායනාගාරය (UFO Lab) 2021 දී ෆුකුෂිමාහි ලිනොමකිහිදී විවෘත කෙරුණු අතර එහි විවිධ රටවල විද්‍යාඥයන් සේවය කරනු ලැබේ. වසර 2022 දී පමණක් ජපානයෙන් ආගන්තුක පියාඹන ද්‍රව්‍ය 452ක් පිළිබඳව වාර්තාවී තිබෙයි.
2011 දී සිදු වූ සුනාමි විපතින් පසු ලිනොමකි නගරය හැර යෑමට ජනතාව පෙළඹුණි. 1955 දී නගරයේ 9500ක් ජීවත්වූ නමුත් අද එය වාසස්ථානය කරගෙන සිටින්නේ පන් දහසක් පමණි. එහෙත් පිට සක්වළ ජීවීන් නිසා ලිනොමකි නගරය සංචාරක ආකර්ෂණයක් වී තිබෙයි.
● යානාවල ස්වරූපය
වසර සියයකට ආසන්න කාලයක් පුරා වාර්තා වන අහසේ පියාඹන ආගන්තුක යානාවල හැඩය වැඩි දෙනකු සමාන කරන්නේ පියාඹන පීරිසිවලට ය. එහෙත් මෙතෙක් කළ අධ්‍යයනවලින් හෙළිවී තිබෙන්නේ ඒවා රවුම් හැඩයකින් යුක්ත බව ය. යානාවල පැහැය සුදු හෝ රිදී පැහැයක් ගනියි. මේවා ආලෝකයට විනිවිද වැටෙන (පාරභාෂක) යානාවන් වෙයි. යානාවක දිග අඩි 3 සිට අඩි 13 දක්වා (මීටර් 1 සිට මීටර් 4 දක්වා) ප්‍රමාණයකින් යුතු යානා ගමන් ගන්නේ සාමාන්‍ය වාණිජ ගුවන් යානායක් ගමන් ගන්නා උසකට මදක් පහළිනි. පිටසක්වළින් සක්වළට පැමිණෙන ආගන්තුකයන් තවමත් අපට දුරස් ය. එහෙත් විද්‍යාඥයන් කෙදිනක හෝ ඔවුන් අපේ සමීපතමයන් බවට පත්කරනු නියත ය.
චම්පිකා දීපානි රණසිංහ