‘මෙතරම් හාල් උයන්නේ මොකටද’ කියා රයිස් කුකර් පියනින් දියණියගේ මුහුණ පුළුස්සලා

396

පින්වත්ත ප්‍රදේශයේ නිවසක 16 හැවිරිදි දියණියගේ මුහුණ පිළිස්සූ බව කියන පියෙකු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලිසිය පවසයි.

මුහුණේ පිළිස්සීම් තුවාල සහිතව පින්වත්ත, වඩුපාසල් වත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක් සිය මව සමග පැමිණ කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කීය.

පිළිස්සීම් තුවාල සහිත දැරිය සිය මව සමග පෙරේදා (05 දා) රාත්‍රී පොලිසියට පැමිණිලි කර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට පිටත්ව ගිය බව පොලිසිය කියයි.

දැරිය එදින රාත්‍රී බත් පිසිමින් සිටියදී සැකකරු නිවසට පැමිණ ඇති අතර දැරියගේ මව අසල වෙළෙඳ සැලකට ගොස් සිට ඇත. රයිස් කුකර් එකෙහි පියන විවෘත කර බැලූ සැකකරු ‘මෙතරම් හාල් මොකටද උයන්නේ’ යනුවෙන් පවසා රයිස් කුකර් එකේ පියන ගෙන දැරියගේ මුහුණට තබා ඇති බවට දැරිය ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කීය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ස්ථානාධිපති ප්‍ර.පො.ප. පත්ම නන්දන මහතා පැවසීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී වරුන් වන නිශාන්ත සේනාරත්න සහ ජේ. කේ. එස්. කේ. ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍ර.පො.ප. පත්ම නන්දන මහතාගේ මෙහෙය වීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති උ.පො.ප. නාමල් සහ පානදුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන්ද පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment