ලොවම කම්පා කළ අරන්තලාවේ මහා භික්‍ෂු ඝාතන!

494

හෙටට වසර 36 යි

අම්පාර දිගාමඩුල්ලේ විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන ගණනාවක් ඉදිකර නැගෙනහිර පළාතට සුවිසල් මෙහෙවරක් ඉටුකළ උතුරු හා නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද හෑගොඩ ශ්‍රී ඉන්දසාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ උන්වහන්සේගේ ශිෂ්‍ය සාමණේර තිස්නම 1987 ජුනි 02 වැනිදා අම්පාර මහඔය පාරේ අරන්තලාවේදී දෙමළ ත්‍රස්තවාදීන් විසින් අමානුෂික අන්දමින් කපාකොටා වෙඩි තබා ඝාතනය කර මෙම වසරේ ජුනි 02 වැනිදාට වසර 36 ක් සම්පූර්ණ වේ. මෙම ඝාතනය කිරීමේ දෙමළ ඊළාම් ත්‍රස්තවාදීන්ගේ අරමුණ අන් කිසිවක් නොව නැගෙනහිර පළාතෙන් සිංහල බෞද්ධයන් එළවා දමා උතුරු හා නැගෙනහිර දෙමළ නිජ භූමියක් ලෙස තහවුරු කර

ගැනීමයි. එදා ත්‍රස්තවාදීන් ඉන්දසාර නාහිමියන් ඇතුළු සාමණේර හිමිවරු හඬා වැළපෙද්දී උන්වහන්සේලා වැඩම කළ බස් රථය පාරෙන් ඉවතට රැගෙන ගොස් කපාකොටා වෙඩි තබා සිදුකළ මිලේච්ඡ ඝාතනය ඊළමට මග හදන මෙරට සිටින දෙමළ දේශපාලකයන් මෙන්ම දෙමළ ඩයස්පෝරාව ඇතුළු දෙමළ බෙදුම්වාදීන් හොඳාකාරවම දන්නා නමුත් ඔවුන් ඒ ගැන කිසිවක් කියන්නේ නැත.

මෙම මිලේච්ඡ ඝාතනය හැරුණු විට වැලිඔය කලාපයෙන් ධීවර ජනතාව සිය ගණනක් කපා කොටා මරා දැමීම, 1985 මැයි 14 වැනිදා අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පහරදීමට පැමිණ එහි වන්දනා කරමින් සිටි හා මංමාවත්වල සිටි පන්සියයකට ආසන්න අහිංසක ජනතාව වෙඩිතබා ඝාතනය කිරීම, 1991/01/02 බෝගමුයායට පහරදී වයස 3ක කිරි දරුවෙකු ඇතුළු ළමයින් 13ක්, කාන්තාවන් 8 දෙනකු හා පිරිමි 6 දෙනකු වශයෙන් 27 දෙනෙක් මිලේච්ඡ ලෙස ඝාතනය කිරීම, 1991 අප්‍රේල් මාසය තුළ අම්පාර දිස්ත්‍රික්කය තුළ ගම්මාන කිහිපයක අහිංසක ජනතාව 46 දෙනෙක් ඝාතනය කිරීම, 1995/10/20 මොනරාගල දිස්ත්‍රික්කයේ අහිංසක ජනතාව 23 දෙනෙක් ඝාතනය කිරීම, 1999/09/18 අම්පාර දිස්ත්‍රික්කයේ ගලපිටගල ප්‍රදේශයේ 50 දෙනකු ඝාතනය කිරීම, 1998/01/25 වැනිදා දළදා මාලිගාවට පහරදීම යන මේ ප්‍රහාරයන් හැරුන විට වව්නියාව, මන්නාරම, වැලිඔය කලාපය, කැබැතිගොල්ලෑව, නාමල්ගම ආදී විවිධ ප්‍රදේශවලදී දෙමළ ත්‍රස්තවාදීන් විසින් කපාකොටා ඝාතනය කළ සිංහල ජනතාව බොහෝ දෙනෙක් වෙති.

වැලිඔය කලාපයේ වාහල්කඩට කඩා වැදුණු ත්‍රස්තවාදීන්

ගම්වැසියන් මරා දමද්දී හමුදා ඇඳුමට සමාන ඇඳුමෙන් සිටි නිසා ආරක්ෂාව පතා තමා ළඟට දුව ආ දරුවෙකුගේ දෙකකුලෙන් අල්ලා ඔළුව කුඩු වී යන සේ බෝක්කුවක ගසනු සැඟවී බලා සිටි ගම්වැසියෙක් දැක එය අපට විස්තර කරද්දී දරාගත නොහැකි වේදනාවක් ඇති විය. මේ හැරුණ විට අවස්ථා කිහිපයකදීම කොළඹට පහර එල්ල කිරීම, කටුනායක ගුවන් තොටුපළට පහර එල්ල කිරීම, සේරුවිල කන්තලේ මාර්ගයේ බස් රථවල ගමන්ගත් අහිංසක මිනිසුන් බිම් බෝම්බ අටවා ඒවා පුපුරවා ඝාතනය කිරීම වැනි අමානුෂික මිනිස් ඝාතන පිළිබඳව අද බොහෝදෙනා කතා කරන්නේ නැත. ඇතැම් අනුවණ සිංහලයන් පවා කතා කරන්නේ ලියන්නේ දෙමළ ජනයාට සිදුවූ අසාධාරණකම් ගැනයි.

ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේ සටන්වලදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් මුහුණට මුහුණලා සටන් කරද්දී ත්‍රස්තවාදීන් මියගියා මිස කිසිදු අවස්ථාවක දෙමළ ජනයා ජීවත් වන ගම්මානවලට පහරදී දෙමළ ජන සංහාරයක් සිදුකර නැත. එහෙත් දෙමළ ඩයස්පොරාව හා එයට සම්බන්ධ දෙමළ ජනයා මෙන්ම ඔවුන්ගේ ප්‍රචාරක ජාලයට අසුවූ යුරෝපීයන් ද කියන්නේ සිංහල හමුදාව දෙමළ ජනසංහාරයක් සිදුකළ බවයි. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. සත්‍යය නම් දෙමළ ත්‍රස්තවාදීන් උතුරු හා නැගෙනහිර පළාත්වල මෙන්ම ඉන් පිටත පළාත්වලදී ද සිංහලයන් ඝාතනය කර සිංහල ජන සංහාරයක් සිදුකළ බවයි. සිංහලයන් තම උරුමයන් රැකගැනීමට උත්සාහ කරන අතර දෙමළ දේශපාලකයන් උතුරු හා නැගෙනහිර සිංහල බෞද්ධ උරුමයන් නැතැයි කියමින් එම ප්‍රදේශවල ඇති පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීමට ඉඩ නොදෙති. එසේ ක්‍රියාකරන ඔවුහු ජාත්‍යන්තරය තුළ රුද්‍රකුමාරන් වැනි බෙදුම්වාදීන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාමයක් බිහිකර

ගැනීමට ක්‍රියා කරති. පසුගියදා පැවති ඔවුන්ගේ සම්මේලනයකට කැනඩා අගමැති පවා පැමිණ සිටි බව වාර්තා විණි.

අරන්තලා භික්ෂු ඝාතනය වැනි මිලේච්ඡ ඝාතන සිදුකරමින් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් (දෙමළ ඊළාමයක්) බිහිකර ගැනීමට ත්‍රස්තවාදය හා දෙමළ දේශපාලනය යොදාගත් දෙමළ බෙදුම්වාදීහු තම ප්‍රචාරක ජාලය හරහා විදේශීය රටවල සහයෝගය ලබාගන්නා තැනට කටයුතු යොදාගෙන ඇත. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ 1977 බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධනගේ පාලන සමයෙහි විදේශ රටවල තානාපතිවරුන් ලෙස පත්වීම් ලැබූ දෙමළ බෙදුම්වාදීන් ඔවුන්ගේ ප්‍රචාරක ජාලය හරහා ඔවුන්ට ශ්‍රී ලංකාවේ දෙමළ නිජබිමක් ඇතැයි හේතු ගැන්වීමට සමත්වීමයි. ඒ සමගම ශ්‍රී ලංකා රජය විදේශ අමාත්‍යාංශය හා විදේශීය තානාපතිවරුන් දෙමළ ඊළාම් බෙදුම්වාදී ප්‍රචාරයට ඉඩදී සත්‍ය තත්ත්වය ලෝකයට හෙළිදරව් නොකිරීමයි.

සිංහල හා මුස්ලිම් ජනයාට මෙන්ම අහිංසක දෙමළ ජනතාවට පවා හිසරදයක්ව පැවති දෙමළ ත්‍රස්තවාදය 2009 මැයි 18 වැනිදා මුළුමනින්ම පරාජය කිරීමෙන් පසුව දෙමළ බෙදුම්වාදී දේශපාලනයට එරෙහිව ඒකීය රාජ්‍ය තහවුරු කිරීමට මෙරට දේශපාලකයන් කටයුතු නොකිරීම නිසා මේ වනවිට ලෝකය පුරා විශේෂයෙන්ම බටහිර ලෝකය තුළ දෙමළ දේශපාලන වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවීමටත් ඉඩහසර සෑදි ඇත. රටේ ඒකීයභාවය වෙනුවෙන් තම ජීවිත පූජාකළ 29000ක් පමණ වූ රණවිරුවන්ගේ නාමයෙන් ඒ හා සමාන අබාධිත වූ රණවිරුවන්ගේ නාමයෙන් අරන්තලාවේදී ජීවිත පූජා කළ භික්ෂූන් වහන්සේලාගේ නාමයෙන් මෙන්ම දෙමළ ත්‍රස්තවාදීන්ගේ ඝාතනයට ලක්ව දිවිපිදු අහිංසක ජනතාවගේ නාමයෙන් මේ රට දෙකඩ කර දෙමළ ඊළාමයක් බිහිවීම වළක්වාලීම ශ්‍රී ලංකා මාතෘභූමියට ආදරය කරන සියලු දෙනාගේ යුතුකම හා වගකීම බව අවධාරණය කරමු.

එදා අරන්තලාවේදී දෙමළ ත්‍රස්තවාදීන් ඝාතනය කළ හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියෝ නැගෙනහිර පළාතේ සර්වාගමික සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරමින් සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය උදෙසා සුවිසල් වැඩ කොටසක් ඉටු කළහ. විශ්‍රාමික දෙමළ උගතුන් යොදාගෙන තමන් වහන්සේගේ පිරිවෙනෙහි ශිෂ්‍යන්ට දෙමළ උගන්වා දෙමළ බසින් ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේලා පුරුදු කළහ. අහිංසක දෙමළ ජනයා ජීවත් වූ ගම්මානවලට උදව් උපකාර කළහ. ත්‍රස්තවාදීන් උන්වහන්සේ ඝාතනය කළේ මේ බව නොදැන නොවේ. ඔවුන්ට අවශ්‍ය වුණේ සිංහල, දෙමළ. මුස්ලිම් සමගිය නොව උතුරු හා නැගෙනහිරෙන් සිංහල හා මුස්ලිම් ජනයා එලවා දමා වෙනම අරමුණකට යාමය. උතුරු හා නැගෙනහිර ඒකාබද්ධ කර දෙමළ ඊළාමයක් පිහිටුවීම වර්තමානයේ සිටින ඇතැම් දෙමළ දේශපාලකයන්ගේ ද අරමුණයි.

අරන්තලා භික්ෂු ඝාතනය සමරමින් වැඩසටහන් කිහිපයක්ම පැවැත්වීමට හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන නාහිමියන් කටයුතු යොදා ඇත. ජුනි 01 වැනිදා කුල දරුවන් පිරිසක් සසුන්ගත කිරීම, යුගාසන කාව්‍ය ධර්ම දේශනය, මහා පහන් පූජාව සමග බෝධි පූජාව හා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ද ජුනි 02 වැනිදා කිරිපිඬු බුද්ධ පූජාව, පිණ්ඩපාත චාරිකාව, රුක්රෝපණ වැඩසටහන, අරන්තලාව භික්ෂු ස්මාරකය අභියස අධිෂ්ඨාන පූජාව, භාවනා කුටි 31 ක් හා භාවනා ශාලාව ඉදිකිරීමට මුල්ගල තැබීම, ගුණසමරු උත්සව සභාව හා දහම් හමුව හා එදින දහවල 250 ක් වූ මහා සඟරුවනට දන් පිරිනැමීම යන මෙම කටයුතු සිදුකිරීමට සංවිධානය කර ඇත. මෙම උතුම් පිංකම්වල බලයෙන් එදා ඝාතනයට ලක්වූ නාහිමිපාණන් ඇතුළු සාමණේර හිමිවරුන්ට පිං දීමත් මෙවන් මිලේච්ඡ ඝාතන කිසි කලකත් මෙරට සිදුනොවේවායි ප්‍රාර්ථනා කිරීමත්, මෙරට බෞද්ධ උරුමයන් ආරක්ෂා වී සිංහල දෙමළ මුස්ලිම් සියලුදෙනා සමගි සම්පන්නව ශ්‍රී ලංකාව තුළ ජීවත්වීමට මග සැලසේවායයි ප්‍රාර්ථනා කිරීමත් මෙම පිංකම්වල අරමුණ බව කිරිඳිවැල සෝමරතන හිමියෝ පවසති. එම උදාර අරමුණ එලෙසම ඉටුවේවායි අපිදු ප්‍රාර්ථනා කරමු.

● පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනාහිමි
දේශප්‍රේමි භික්ෂු පෙරමුණේ ලේකම්

අරන්තලාව ප්‍රහාරයෙන් අපවත් වූ හිමිවරු

  1. පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමි (වයස 55), 2. පූජ්‍ය පරගහකැලේ විජිත නන්ද හිමි (වයස 24), 3. පූජ්‍ය කළුගල ආනන්ද සාගර හිමි (වයස 19), 4. පූජ්‍ය වාවින්නේ සද්ධාවංශ හිමි (වයස 19), 5. පූජ්‍ය කෙහෙල්පොත සුගතපාල හිමි (වයස 18), 6. පූජ්‍ය තල්ගමුවේ උපරතන හිමි (වයස 18), 7. පූජ්‍ය වාවින්නේ සද්ධාතිස්ස හිමි (වයස 18), 8. පූජ්‍ය වාවින්නේ ගුණවංශ හිමි (වයස 17), 9. පූජ්‍ය වාවින්නේ අත්ථදස්සි හිමි (වයස 17), 10. පූජ්‍ය මහියංගනේ ගුණසෝම හිමි (වයස 17), 11. පූජ්‍ය කුරුපනාවෙල කෝලිත හිමි (වයස 17), 12. පූජ්‍ය මන්ත්‍රීතැන්නේ ධම්මදස්සි හිමි (වයස 16), 13. පූජ්‍ය හඳුන්ගමුවේ අරියවංස හිමි (වයස 15), 14. පූජ්‍ය දම්බරාවේ මහින්ද හිමි (වයස 15), 15. පූජ්‍ය මාවාවින්නේ විජිත හිමි (වයස 14), 16. පූජ්‍ය හඳුන්ගමුවේ බුද්ධරක්ඛිත හිමි (වයස 13), 17. පූජ්‍ය රජගලතැන්නේ පුන්නජි හිමි (වයස 13), 18. පූජ්‍ය කුරුපනාවෙල ධම්මපාල හිමි (වයස 13), 19. පූජ්‍ය දේවාලහිඳ ධම්මරක්ඛිත හිමි (වයස 12), 20. පූජ්‍ය අඹගහවැල්ලේ සරණ හිමි (වයස 12) 21. පූජ්‍ය දේවාලහිඳ අනෝමදස්සි හිමි (වයස 10), 22. පූජ්‍ය කොටවෙහෙරේ විමලබුද්ධි හිමි (වයස 14), 23. පූජ්‍ය කෝමාරියේ විමලජෝති හිමි (වයස 16), 24. පූජ්‍ය මහියංගනේ වජිරබුද්ධි හිමි (වයස 12), 25. පූජ්‍ය මහියංගනේ සුමන හිමි (වයස 12), 26. පූජ්‍ය මහියංගනේ ආනන්ද හිමි (වයස 11), 27. පූජ්‍ය මහියංගනේ විපුලසාර හිමි (වයස 11), 28. පූජ්‍ය කුරුණෑගල පඤ්ඤානන්ද හිමි (වයස 14), 29. පූජ්‍ය තෙරිපැහැ සෝභිත හිමි, 30. පූජ්‍ය රාහුල ආනන්ද හිමි, 31. පූජ්‍ය කළුගල පාලිත හිමි (වයස 09)

මියගිය ගිහි පුද්ගලයන්

  1. පී. ජී, සමරපාල රියැදුරු මහතා, 2. එන්. පී. ජිනදාස කොන්දොස්තර මහතා, 3. වසන්ත ජයවර්ධන තරුණ මහතා

අපට එව්වේ

● සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment