මෙල්බර්න් සරසවියෙන් ආචාර්ය උපාධියක් ගත් නිවුන්නු

136

පෙර පාසල, පාසල, විශ්වවිද්‍යාලය ආචාර්ය උපාධිය යන අවස්ථාවන් එකට තරණය කළ සුන්දර යෞවනියන් දෙදෙනෙක් ගැන අද ලොවම කතා කරන්නේ අවුරුදු 168 ක මෙල්බර්න් විශ්වවිද්‍යාලයීය ඉතිහාසයේ එකම දිනයේ එකම මොහොතක ආචාර්ය උපාධිය ලබාගත් ප්‍රථම නිවුන් දරුවන් දෙදෙනා ඔවුන් වීම නිසාය.

දිවට දැනෙන රසය ආහාර ගන්නා ඉතා සුළු කාලයකට සීමාවේ. එහෙත් ඒ සුළු කාලය තුළ දිව පිනවීමට මිනිසා දින ගණනාවක සිට සැළසුම් නිර්මාණය කරයි. මිනිසා මෙයට මෙතරම් උනන්දු ඇයි. එය නිවුන් සොයුරන්ගේ කුතුහලය අවුස්සන්නට තුඩුදුන් කාරණාවකි. මේ ගැන සිත යොමුකරමින් කළ පර්යේෂණයක ප්‍රතිඵල ඔවුන් ආචාර්ය උපාධිය ලබා ගැනීම තෙක් දුරදිග ගියේය.

නදීෂා සහ තේජානි යන මෙම නිවුන් සොයුරියන් දෙදෙනා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගෙන මෙල්බර්න් සරසවියේ ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් විය. ඔවුන්ගේ මාතෘකාව වූයේ චොකලට් සඳහා මිනිසුන්ගේ මනස හා චිත්තවේග ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවායේ ඇසුරුම් සම්බන්ධව මිනිස් ප්‍රතිචාර පිළිබඳව පර්යේෂණ පැවැත්වීමයි. තේජානි චොකලට්වල රසයේ බලපෑම කෙරෙහිත් නදීෂා එහි ඇසුරුම්කරණය පිළිබඳවත් පර්යේෂණ පවත්වා තම ආචාර්ය උපාධි සඳහා ඉදිරිපත් කළහ.

2020 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ඔවුන්ගේ ආචාර්ය උපාධි ප්‍රදානෝත්සවය 2022 දෙසැම්බර් දක්වා කල් දැමීමට සිදු වූයේ රටේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙනි.

මෙල්බර්න් සරසවියෙන් ආචාර්ය උපාධියක් ගත් නිවුන්නු

තේජානි දැනට මෙල්බන්හි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරියක් ලෙස සේවය කරන අතර නදීෂා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පර්යේෂණ විද්‍යාඥවරියක් ලෙස සේවය කරයි.

තේජානි පවසන්නේ නිවුන් දරුවන් ලෙස උපත ලැබීම නිසා ඔවුන් අතර අද්විතීය බැඳීමක් ඇති බවත් පෙර පාසලේ සිටම සියලුම සන්ධිස්ථාන එකට තරණය කළ බවත් ආචාර්ය උපාධිය දක්වාම එසේ පැමිණීමට හැකිවීම සම්බන්ධව තමා අතිශය සතුටට පත්වන බවත්ය. ඔවුන් ලෝකයේ පැති දෙකක ජීවත්වුවද කෙටි පණිවිඩ හා අන්තර්ජාලය මගින් නිතර සම්බන්ධ වන නිසා අපි දෙදෙනා කිසිසේත් දුරස්වී නැති බවද ඇය පවසයි.

චොක්ලට් නිෂ්පාදන සහ අනෙකුත් ආහාර සඳහා අපගේ රසවින්දනය – සහ ඒවා මිලදී ගැනීමට අප ගන්නා තීරණ – රසයට පමණක්ම නොව තවත් බොහෝ සාධක මගින් මෙහෙයවනු ලබන බව ඔවුන්ගේ පර්යේෂණ ඉස්මතු කරයි.

“අපි ආහාර මිල දී ගැනීමේදී, එහි ඇසුරුම්වල සහ ලේබල්වලින් අපට පවසන දෙයට ගැළපෙන යමක් අපි අපේක්ෂා කරමු,” නදීෂා පැවසුවාය.

“අතීතයේදී, සංවේදී පර්යේෂණ බොහෝ දුරට රඳා පැවතුනේ සහභාගිවන්නන් කී හෝ කළ දේ මතයි. එහෙත් අපගේ පර්යේෂණය ඉන් ඔබ්බට ගොස් මිනිස් සිතුවිලි ක්‍රියාකරන ආකාරය පිළිබඳව පදනම් වූවක්. පාරිභෝගිකයන්ගේ අත්දැකීම් නිෂ්පාදනවලට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ ප්‍රයෝජනවත් තොරතුරු සපයන නමුත් ඔවුන්ගේ අත්දැකීම් කෙරෙහි ප්‍රධාන බලපෑමක් ඇති කරන අවිඥානික සහ චිත්තවේගීය ප්‍රතිචාර වැනි විද්‍යාත්මක දත්ත ඔවුන් නැවතත් එම නිෂ්පාදනයම මිලදී ගැනීමට පොළඹවන අකාරය ගැන අපි ඉතා ගැඹුරින් පර්යේෂණ කළෙමු”.

නදීෂා සහ තේජානි විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා යොදාගත් ජෛවමිතික ක්‍රම මෑත වසරවල දත්ත පදනම් වූ සංවේදී විද්‍යා පර්යේෂණ සිදු කිරීමට අපට ඇති හැකියාවට එක් කළ බව එම විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් පවසයි.

චිත්‍රාන්
මොරකන්දෙ ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment