මෛත්‍රී විත්ති කූඩුවට: අධිකරණයෙන් අවවාද

302

මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ලබන මාර්තු 17 වැනිදා යළි කැඳවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (27දා) නියෝග කළේය.

එම නඩුව ඊයේ (27දා) විවෘත අධිකරණය හමුවේදී කැඳවූ අවස්ථාවේදී සැකකාර මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොපැමිණ පිටත රැඳී සිටි අතර පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කර දැඩි විරුද්ධත්වය දැක්විය.

සිය සේවාදායකයාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්තිකූඩුවට නැගීමක් සිදුකර නැතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා අධිකරණයට පැවසීය.

අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කර ඇත්තේ එම සැකකරුට එරෙහිව ගොනු කර ඇති චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළිත් තාවකාලිකව අත්හිටුවන ලෙසට මිස සැකකරුට විත්තිකූඩුවට නැඟීම වළක්වමින් නියෝගයක් නොවන බව පැවසූ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නඩුවේ සැකකරුගේ නම ප්‍රකාශ කර නඩුව නැවත කැඳවන ලෙසට අධිකරණ භාෂණ පරිවර්තකවරියට නියෝග කළේය.

දෙවන වරට සැකකරුගේ නම ප්‍රකාශ කර නඩුව කැඳවූ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විත්තිකූඩුවට නැගීම සිදුකළ අතර නඩුව කැඳවන විට සැකකරුවකු සිටිය යුතු ස්ථානය විත්තිකූඩුව වන බැවින් ඉදිරියේදීත් ඒ අනුව කටයුතු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා මෛත්‍රීපාල සිරිසේන මහතාට අවවාද කළේය.

රටේ විධායක ජනාධිපතිවරයා හා ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස පාස්කු ප්‍රහාර වළක්වා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා නිසි පියවර නොගැනීමෙන් අපරාධමය වරදක් කර ඇති බවත්, එබැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ පාස්කු ප්‍රහාරවලින් පාදයක් අහිමි වූ වින්දිතයකු හා සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා එම නඩුව ගොනුකර තිබිණි. නීතිඥ උදාර මුහන්දිරම්ගේ, තිළිණ පුංචිහේවා යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment