යැපුම් සංකල්පයෙන් මිදී දුප්පත්කම තුරන් කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

58

යැපුම් සංකල්පයෙන් මිදී තිරසර දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 85 වැනි අදියර යටතේ අනුරාධපුර කලාවැව තලාව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා පාසැල් බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රට තුළ දුගී දුප්පත්කම තුරන් කිරීමේ දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත් යැපුම් සංකල්පයෙන් මිදී තිරසර දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතියක් සමගි ජන බලවේගය සැලසුම් කර ඇති බවත් ජනසවියේ ඉදිරි පියවර ඒ බවත් ඒ තුළින් ගෘහ මූලික පවුලක පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සම්පත් ලැබෙන බවත් එය දුප්පතුන් ලෙස නිර්මාණය වී ඇති අඩකට වැඩි පුරවැසියන් වෙනුවෙන් සූදානම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරයට අපනයන කේන්ද්‍රීය ආර්ථික රටාවක් බද්ධ කරන බවත් ගෘහමූලික පවුල්වල මව්වරු පියවරු නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වන විට එය අපනයන වෙළෙඳපොළ කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක විය යුතු බවත් ඒ තුළින් ඩොලර්වලින් මුදල් ඉපයිය හැකි බවත් විපක්ෂනායකයා කීවේය.

විවිධ දේශපාලන මතිමතාන්තර දැරුවත් කුහකකම් සිදු නොකරන ලෙසත් තඹුත්තේගම ජාතික පාසලට දුන් බස් රථය කැඩී ඇති බවට ව්‍යාජ ප්‍රචාර දියත් කරත් එය අසත්‍ය බවට අනාවරණය වී ඇති බවත් එවැනි කුහක දේවල් සිදු නොකරන ලෙසත් එවැනි කුහකකම් සිදු කරන්නේ පාසල් දරුවන්ට බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

තමා සිදු කරන පරිත්‍යාග ගැන විවිධ කතා කියන බවත් දේශපාලනය නිසා, ඡන්දයක් නිසා මෙවැනි පරිත්‍යාග කරනවා යැයි කියන අයට පැවසිය යුත්තේ තමා මෙවැනි සේවා සිදු කිරීමේ ගමන ආරම්භ කරන ලද්දේ 1994 දී මන්ත්‍රීකමක්වත් නොමැතිව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කොළඹ උසස් පාසල්වලට, ප්‍රභූ විද්‍යාලවලට, ජාත්‍යන්තර පාසල්වලට, විදේශ විශ්වවිද්‍යාල හා පාසල්වලට තමන්ගේ දුවා දරුවන් යවන පුද්ගලයන්ට නම් මෙම වැඩසටහන් වැඩකට ඇති දේවල් නොවන බවත් ජාත්‍යන්තර පාසල්වල මට්ටමටම රටේ අනෙක් පාසල් ඇති බවට ඔවුන් සිතාගෙන ඇති බවත් එම නිසා මෙවැනි පරිත්‍යාග අවශ්‍ය නොවන බවට පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තම පියා බලයට පැමිණි පසු පත් කළ තරුණ අසහන කොමිසම තුළින් කොළඹ කිරි ගමට කැකිරි යැයි අනාවරණය වූ බවත් සියලු වරප්‍රසාද අගනුවර කේන්ද්‍රිත පාසල්වලය ලබා දී ගමේ පාසල්වලට කුඩම්මාගේ සැලකිල්ල ලැබී ඇති බවත් සමහර පාසල්වල දූදරුවන් නිසි පෝෂණයක් නොමැතිව ක්ලාන්ත වී වැටෙන තත්ත්වයක් ඇති බවත් ඒ සඳහා තමා දිවා ආහාර ලබා දෙනවා යැයි පවසන විට තමා බෙදනවා, සහන දෙනවා, වරදාන වරප්‍රසාද දෙනවා යැයි පවසන බවත් මේ වන විට හොරකම් කරන එක හොඳ වී බෙදන එක වැරදි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සම්පත් ලබා දෙන්නේ රටේ ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට බවත් ජනතාව ඉල්ලූ ක්‍රමයේ වෙනස සමගි ජන බලවේගය ඇති කර ඇති බවත් බලයක් නොමැතිව විපක්ෂයේ සිට රටේ සෞඛ්‍යයට හා අධ්‍යාපනයට අගයක් එකතු කරන ආකාරය වැඩසටහන් රැසක් පසුගිය වසර 3ක කාලය තුළ ඉටු කර ඇති බවත් මෙය තමා දේශපාලනය කරනවාට වඩා තෘප්තිමත්ව සිදු කරන දෙයක් බවත් විපක්ෂ නායකරයා මෙහිදී අවධාරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment