යුක්තියෙන් මෙන් රංගනයක් දාලා ඉන්දියානුවන් කොල්ලකෑ නාවිකයෝ 4ක් අත්අඩංගුවට

351

‘යුක්තිය’ මෙහෙයුමේ යෙදී සිටින නිලධාරීන් ලෙස රංගනයක යෙදෙමින් වැල්ලවත්තේ පිහිටි පෞද්ගලික ආයතනයක නේවාසිකාගාරයකට පෙරේදා (3 දා) රාත්‍රී කඩා වැදී එහි සිටි ඉන්දීය ජාතිකයන් පිරිසකට තියුණු ආයුධ පෙන්වා මරණීය තර්ජන එල්ල කර රුපියල් ලක්‍ෂ 7කට අධික වටිනාකමෙන් යුත් මුදල් සහ දුරකථන කොල්ලකෑ නාවික හමුදා සෙබළුන් සිව් දෙනකු වැල්ලවත්ත පොලිසිය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.

තමන් පොලිස් නිලධාරීන් බවත් යුක්තිය මෙහෙයුමට සමගාමීව පරීක්‍ෂා කිරීමකට පැමිණී බවත් පවසමින් මෙම කොල්ලකරුවන් සිව් දෙනා නේවාසිකාගාරයට ඇතුළු වී ඇත්තේ පෙරේදා රාත්‍රී 10.30ට පමණය.

පසුව එහි සිටි ඉන්දීය ජාතිකයන්ට තියුණු ආයුධ පෙන්වා ඔවුන් බිය ගන්වා එක් පුද්ගලයකු සතුව තිබූ රුපියල් හයලක්‍ෂ හැත්තෑදහසක මුදල් සහ තවත් අයකු සතු ජංගම දුරකථනයක් කොල්ලකා ගෙන පලා ගොස් තිබිණි.

කොල්ලය සිදුවී සුළු මොහොතකට පසු මේ පිළිබඳව වැල්ලවත්ත පොලිසිය වෙත තොරතුරු ලැබී ඇති අතර ඔවුහු ඒ මොහොතේම විමර්ශන ආරම්භ කර සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත්හ.

පසුව අනෙක් සැකකරුවන් දෙදෙනාද කොල්ලකෑ මුදල් සහ ජංගම දුරකථනයද සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

සිව් දෙනාගෙන් දෙදෙනකු නාවික හමුදා මූලස්ථානයේ ද සෙසු දෙදෙනා වැලිසර හා වේරහැර කඳවුරුවල ද රාජකාරි කරන අය බව ද පොලිසිය පවසයි.

කොළඹ දකුණු භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරංජන් අබේවර්ධන, පොලිස් අධිකාරි ජයශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කහඳව මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment