රග්බි දෙවන වටයේ තරග අනිද්දා පළඟ ශූරතා තරග අද සිට

140

මෙරට ප්‍රමුඛතම ලීග් රග්බි තරගාවලියේ ශූරයින් උදෙසා පිරිනැමෙන ‘නිපෝන් පේන්ට් අභියෝග කුසලාන’ ට හිමිකම් කීම උදෙසා ක්‍රියාත්මක කෙරෙන තීරණාත්මක දෙවන වටයේ තරග අනිද්දා (05 වැනිදා ) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය පියවර ගෙන තිබේ.

තරඟ 28 කින් සැදුම්ලත් වූ පළමු වටයේ දී ප්‍රදර්ශනය කළ දක්ෂතා පදනම් කර ගනිමින් ‘නිපෝන් පේන්ට් අභියෝග කුසලාන’ පිරිනමන දෙවන වටය සඳහා වරම් ලැබීමට මහනුවර ක්‍රීඩා සමාජය, සී.ආර්. ඇන්ඩ් එෆ්. සී. සමාජය, හැව්ලොක්ස් සමාජය සහ නාවික හමුදාවට හැකි විය.

ඒ අනුව මෙම කණ්ඩායම් 04 අතරේ ලීග් ක්‍රමයට තරග ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී හිමි කර ගන්නා ලකුණු සහ මූලික වටයේදී රැස් කර ගන්නා ලද ලකුණු අනුව මෙවර ශූරයින් තීරණය කිරීමට නියමිතය.

මූලික වටය අවසානයේදී මහනුවර සමාජය ලකුණු 39, සී.ආර්. ඇන්ඩ් එෆ්. සී. ලකුණු 34, හැව්ලොක්ස් ලකුණු 25, නාවික හමුදාව ලකුණු 20 හිමිකර ගනිමින් දෙවන හා අවසන් වටයට සුදුසුකම් ලැබීය. මේ සඳහා පැමිණි ගමනේදී මහනුවර පිල වෙතින් ප්‍රතිවාදී සියලු කණ්ඩායම් පරාජය ලැබූ අතර සී. ආර්. පිල ලත් ජයග්‍රහණ සංඛ්‍යාව 06 කි. හැව්ලොක්ස් පිල ජයග්‍රහණ 04 ක් සටහන් කර ගන්නා අතර වාරයේ නාවික හමුදා පිල සතු වූ ජයග්‍රහණ සංඛ්‍යාව 03 කි.

දෙවන වටය ආරම්භ කරමින් ඉරිදා (05 දින) ප.ව.04.00 ට මහනුවර ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී ද සී.ආර්. පිල සහ හැව්ලොක්ස් පිල ලොන්ඩන් පෙදෙසේදී ද තරග වදී.

මේ අතර වාරයේ ‘නිපෝන් පේන්ට් පළඟ ශූරතා’ තරගාවලිය අද (03 දින) ආරම්භ කෙරේ.

ඒ අනුව ගුවන් හමුදාවට එරෙහිව යුද හමුදාව රත්මලානේ දී ද සී.එච්.ඇන්ඩ් එෆ්.සී. පිලට එරෙහිව පොලිසිය තුරඟ තරග පිටියේ දී ද තරග වැදීමට නියමිතය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment