රජරට ස්වර රටා කොළඹ ගේන – සමීර

51

එකෝස්ටික් කියන්නෙ වෙනම රහක්

රජරටින් මේ මහපොළොවට දායාද කළ දෑ බොහෝයි. රට එක්සේසත් කළ රජවරු වගේම මහ සයුර පරදන වැව් අමුණු.. දාගැබ් පවා බිහි වුණේ ඒ රජරටින්. ඒ නිසයි අදත් අපේ රටේ මිනිස්සු රජරටට ආදරේ. අතීතයේ පටන් රජරටින් කලා කෙත පෝෂණය කළ හැටිත් අපි ඉතිහාස කතාවලින් ඕනෑ තරම් අසා තිබෙනවා. දැන් අපි මේ ගෙවන්නෙ 21 වැනි සියවස. එදා වගේම අදත් රජරටින් කලාකෙත අස්වද්දන්නට වෙර දරණ කොල්ලො කෙල්ලො නැතිවාම නොවෙයි. එහෙම අහිංසක උත්සාහයක් අරගෙන රජරටටම සීමා නොවී කොලොම්තොටට අඩිය තියන්නට උත්සාහ කරන තවත් රජරට කොල්ලෙක් පසුගිය දිනෙක අපේ කොළඹ කන්තෝරුවට ගොඩවැදුණා. නමින් සමීර ජයරත්න වන ඔහුගේ කතාවයි මේ.

සමීර කොහොමද ගීත ගායනයට යොමු වෙන්නෙ?

අපේ පවුල තුළ සංගීත පසුබිමක් තිබුණා. තාත්තා හොඳට ගීත ගායනා කරනව.

අයියත් සංගීත කණ්ඩායමක හිටියා. ඒ ආභාෂය එක්ක වැඩිදුර හැදෑරීමක් කරල තමයි මේ තැනට ආවෙ.

රජරට ස්වර රටා කොළඹ ගේන - සමීර

සංගීත කණ්ඩායම බිහි වෙන්නෙ කොහොමද?

පාසලේ නවය ශ්‍රේණියේදි යහළුවො ටිකක් එකතුවෙලා සංගීත කණ්ඩායමක් හදාගත්තා. ඒක නම් කළේ ශෙහාරා කියල. මම සම්බන්ධ වුණේ ගීත ගායනා කරන්න. එහෙම ඉන්න අතරතුර කීබෝඩිස්ට් බෑන්ඩ් එකෙන් ඉවත් වෙනව. ඒ වෙනුවට අහම්බයකින් තමයි මම කී බෝඩ් වාදනයට යොමු වෙන්නෙ.

ඔබට සංගීත භාණ්ඩ කිහිපයක් වාදනය කිරීමේ හැකියාව තියෙනව?

පියානෝ” ඕගන්” එකෝඩියන්” ගිටාර් යන සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන්. ඒ වගේම පොඩි කාලෙ මගේ ආසම වාද්‍ය භාණ්ඩය වුණේ ඩ්‍රම් එක. අයියගෙ සංගීත කණ්ඩායම තියෙන කාලෙ මම එක්ස් රේ කොලවලින් ඩ්‍රම් එකක් හදාගෙන හිටියා.

රජරට ස්වර රටා කොළඹ ගේන - සමීර

දිවයිනේ නම ගිය සංගීත කණ්ඩායම් කිහිපයක ඔබ සාමාජිකයෙක් වෙලා හිටියා?

ඔව්” මම හලාවත හාර්ඩ් බ්ලැක් සහ බේබි ශානිකා ප්‍රමුඛ මීගමුව ෆර්ෆෙක්ට් යන සංගීත කණ්ඩායම්වල සාමාජිකයෙක් හැටියට කටයුතු කළා.

ක්‍ෂේත්‍රයට ඇවිත් කොපමණ කලක් වෙනවද?

1998 වර්ෂයේදි තමයි මම මුලින්ම සංගීත කණ්ඩායමකට එකතු වෙන්නෙ.

ඔබේ කණ්ඩායම ගැන කතා කළොත්?

මගේ ‘හාට් ෆීල් එකෝස්ටික් බෑන්ඩ්. සංගීත කණ්ඩායම පටන් අරගෙන දැනට අවුරුදු පහක් පමණ වෙනවා. අද වන විට එහි මුල් සාමාජිකයන් නැහැ. අලුත්ම කණ්ඩායමක් තමයි ඉන්නෙ. අපේ පළමු වැනි කොන්සර්ට් එක ‘තරණය. නමින් චිත්‍රාල් සෝමපාල සහ උමාරියා සිංහවංශගේ සහභාගිත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්වුවා. මේ වැඩේ පටන්ගන්කොට අපි තමයි අනුරාධපුරයට හිටපු එකම එකෝස්ටික් බෑන්ඩ් එක. දැන් නම් ඒ තත්ත්වය වෙනස්.

බාධක තිබුණද?

අනුරාධපුරයේ වෙඩින් එකකට ෆුල් බෑන්ඩ් එකක් ප්ලේ කරනව කියන්නෙ ඒක ලොකු මුදලක් යන වැඩක්. සවුන්ඩ් සෙටප් එක වගේම ලයිට් සෙටප් එකත් ගණන්. වාදකයන්ට පුහුණුව සඳහා යන වියදම වැඩියි. අපිට ලොකුම බාධාව ආවේ වියදම පැත්තෙන් වගේම පුහුණුවීම් සඳහා පහසුකම් නැතිකමින්. සංවිධායකයන් පොලු තියල” ෂෝ කැන්සල් කරල වගේ දේවල් නම් තවම සිද්ධ වෙලා නැහැ.

තරඟකාරිත්වයට මුහුණ දෙන්න සූදානම්ද?

මුල් කාලයේ පටන් මේ දක්වාම මාත් එක්ක හිටපු ශිල්පීන් සියලුම දෙනා අතිදක්‍ෂයන්. විෂයය සම්බන්ධයෙන් ශිල්පය උපරිම දන්නා අය. ඊට අමතරව සෑම මොහොතකදිම අලුත් තාක්‍ෂණය අත්හදා බැලුවා. මේ කාරණා එක්ක අපිට ක්‍ෂේත්‍රයේ ඇති තරඟයට මුහුණ දෙන්න පුළුවන්.

රජරටින් එළියට එන්න අවස්ථාව ලැබුණද?

ඔව්” සමාජමාධ්‍යය හරහා බෑන්ඩ් එකේ වීඩියෝස් බලල රජරටින් පිට බොහෝ ප්‍රසංගවලට අපිට ආරාධනා කළා.

ඔබ ඇයි එකෝස්ටික්ම තෝරාගන්නෙ?

මම ඉලෙක්ටි්‍රක් මියුසික් කරල තියෙනව. පොප්” ජෑස්” රොක් මියුසික් අහනව. හැම සංගීතයක්ම හැමෝම කරන්නෙ මහන්සි වෙලා. හැමදේකින්ම ගන්න දෙයක් තියෙනව. වාදකයො ගොඩක් මහන්සි වෙන්න ඕන මේ දේවල් ඉගෙනගෙන ප්ලේ කරන්න. මේ අතරින් මට ෆීල් වුණ සංගීතය තමයි එකෝස්ටික් කියන්න. ඒ නිසා මම ඒක තෝරා ගන්නව.

ඔබේ කණ්ඩායම රසිකයන් අතරට ගෙන යන්න විශේෂ සැලසුමක් තියෙනවද?

මං හිතන්නෙ අපි ඉතාමත් කැපවීමෙන් පුහුණුවීම් කරල රසිකයන්ට හරි දෙයක් කරල පෙන්නන්න ඕනා. අපි හරියට යමක් කළොත් රසිකයන් ඒක වැළඳ ගන්නව. දැනට විශේෂ සැලසුමක් නැති වුණත්” කණ්ඩායම එකට හිඳීම සහ පුහුණුව තමයි වැදගත්ම දේ. අපේ ලොකුම බලාපොරොත්තුව රජරටින් කොළඹට එන එක.

දිවයිනේ නම ගිය සංගීත කණ්ඩායම්වලින් ආරාධනා ලැබිල තියෙනවද?

හැමෝටම වගේ මටත් හීනයක් තියෙනව ඒ වගේ සංගීත කණ්ඩායමක ප්ලේ කරන්න. වාසනාවත් එක්ක අනාගතයේදී එවැනි ආරාධනයක් ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව.

දැනට ජනප්‍රිය ධාරාවේ ඉන්න ඔබේ සමකාලීනයන් කවුද?

ඔව්” මම සිස්කෝ ජෝසප් එක්ක එකතුවෙලා අනුරාධපුරයේ මුලින්ම එකෝස්ටික් ශෛලියට ගීත ගායනා කළා. ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන උද්දික ප්‍රේමරත්න අයියයි මමයි අනුරාධපුරෙන් මුලින්ම ත්‍රී පීස් කියන සංගීත ශෛලියට ප්‍රියසම්භාෂණවලට වාදනය කළා. ඉන් පස්සෙ උද්දික අයියා කොළඹ ගියා. මම අනුරාධපුරේ නතර වුණා. ඊට අමතරව දෙරණ ඩී්‍රම් ස්ටාර් සීසන් 4 ජයග්‍රාහකයා වන සසිඳු විජේසිරි සහ මම එකට මියුසික් කළේ. අපි දෙන්න මංගල උත්සව විශාල ප්‍රමාණයකට සංගීතය සැපයුවා. වාදකයෙක් සහ කණ්ඩායමක් හැටියට එළියට යන්න අමාරු වුණත් තනි තනි වශයෙන් අපේ ගම් ප්‍රදේශයෙන් එළියට ගිය නම් දරාපු බොහෝ පිරිසක් ඉන්නව.

ඇයි සංගීතය වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කළේ?

ඇත්තටම සංගීතය කියන්නෙ මගේ ජීවිතය. මං පොඩිකාලෙ පෙරපාසලේදී ගීතයක් කියන්න කිව්වාමත් රූකාන්ත මහත්මයාගෙ ගීතලු කියන්නෙ.

ඔබේ කණ්ඩායම ගැන කතා කළොත්?

මම තමයි කණ්ඩායමේ නායකයා. ඒ වගේම විදුලි ඕගන් ශිල්පියා වගේම ගායකයෙක් හැටියටත් කටයුතු කරනව. ඊට අමතරව නිමල් රණසිංහ (ඩ්‍රම්ස්)” චමින්ද (ෆර්කෂන්)” දිමුතු සඳරුවන් (බේස් ගිටාර්)” ප්‍රවීන් පාලින්ද (ලීඩ් ගිටාර්)” චමින්ද ජයරත්න (ගායක) යන අය කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් හැටියට කටයුතු කරනවා.

කණ්ඩායමෙන් ගීතයක් කරන්න යනවලු?

ඇත්තටම ඔව්. මේ දවස්වල ගීතයක් කරගෙන යනව. ළඟදීම එළිදක්වන්න තමයි බලාපොරොත්තුව. අපේ මුල්ම ගීතය වුණේ ‘වර්ණ රාවය’.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment