සංගීත අධ්‍යක්‍ෂණයේ නව මං සොයන – නලීන්

101

ඔහු නමින් නලීන් නාගොඩවිතාන. සංගීත අධ්‍යක්‍ෂණයෙන් ලොකු ගමනක් යන්න හදන නලීන් සිරස වොයිස් වේදිකාව හරහා ගීත ගායනයට පැමිණි අනුත්තරා දිව්‍යාංජලීගේ ගීත කිහිපයකටම සංගීත අධ්‍යක්‍ෂණයෙන් සම්බන්ධවෙලා තියෙනවා. ‘මීවිත’ මේ ඉඩකට නලීන් වෙනුවෙන්…

නලීන් නාගොඩවිතාන සංගීත අධ්‍යක්‍ෂණයට යොමු වුණේ කොහොමද?

මම මුලින්ම මධුමාධව අරවින්දගේ ‘යාත්‍රා’ වගේම පානදුර ‘ඩයනමික්’ සංගීත කණ්ඩායම් දෙකට සම්බන්ධ වෙලා වැඩ කළා. ඊට කලින් රූපවාහිනියේ උදාර ළමා වාදක මණ්ඩලයේ කටයුතු කළා. මේ අතර තමයි සංගීත වැඩවලට යොමු වෙන්නෙ. පසුකාලෙක සුනිල් ධර්මසේන සංගීත අධ්‍යක්‍ෂවරයාගේ පටිගතකිරීම්වලට සම්බන්ධ වුණා.

සංගීත අධ්‍යක්‍ෂණයේ නව මං සොයන - නලීන්

ඔබ සංගීත අධ්‍යක්‍ෂණය කළ නිර්මාණ මොනවාද?

දැනට මම නිර්මාණ හැත්තෑවක විතර සංගීත අධ්‍යක්‍ෂණය කරල තියෙනවා. ඒ අතර රෝහණ බෝගොඩගෙ ‘තාත්තා නිදි නැති.” පාලි බාග්‍රාගෙ ‘හෘදයේ නාමයෙන්’ වගේම මංජුලා දිල්රුක්‍ෂි.. ලක්‍ෂමන් හේවාවිතාරණ.. ජෝර්ජ් සේනානායක වැනි ශිල්පීන්ටත් සංගීත අධ්‍යක්‍ෂණයෙන් සහය වෙලා තියෙනවා.

ගුවන්විදුලි සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණා කියලත් ආරංචියි?

ඔව්.. මම මීට වසර දෙකකට කලින් ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් හැටියට කටයුතු කළා. ඒ හරහා මම ගොඩක් අත්දැකීම් ලබාගත්තා.

පාසලේදී සංගීතයට යොමු වුණාද?

මම පාසල් ගියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට. මගේ මුල්ම සංගීත ගුරුවරයා වුණේ ජයන්ත සිරිසේන සර්. උදාර වාදක මණ්ඩලයේ සාමාජිකයෙක් වෙලා ඉන්න කාලෙ අශෝක විද්‍යාලයේ ලෙස්ලි ගුරුතුමා වගේම.. ආත්මා ලියනගේ මහත්මයාගේ සහෝදරිය වන නන්දන ලියනගේ මහත්මයාත් මගේ ගුරුවරුන් බවට පත් වුණා.

කණ්ඩායම් සංගීතයට යොමුවෙලා කොපමණ කලක් වෙනවද?

මම කණ්ඩායම් සංගීතයට යොමුවෙලා මේ වන විට වසර දහයක් පමණ වෙනවා. 1999 වසරේදී ඩයනමික් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා ඉන්න කාලෙ තමයි මධුමාධවගේ යාත්‍රා කණ්ඩායමට සම්බන්ධ වුණේ. එහි කී බෝඩිස්ට් හැටියට වසර හතරක කාලයක් කටයුතු කළා.

ඊට පස්සෙ මොකද වුණේ?

ඉන් පස්සෙ මගේම ගමනක් යන්න අරමුණු කරගෙන දෙරණ ඔකෙස්ට්‍රා වාදක මණ්ඩලයට එකතු වුණා. මීට අමතරව සංගීතය පිළිබඳව දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් පවත්වාගෙන යනවා.

ඔබේ අලුත්ම නිර්මාණය ගැන කතා කළොත්?

සිරස ද වොයිස් වැඩසටහන හරහා ගායනයට පිවිසි අනුත්තරා දිව්‍යාංජලීගේ ගීත හතරක් නිර්මාණය කළා. තවත් පර්යේෂණාත්මක සිම්පනි ආරක ගීතයකුත් නිර්මාණය කළා. ඉදිරියේදී ටෙලි නාට්‍ය සහ සිනමාව වෙනුවෙන් සංගීත අධ්‍යක්‍ෂවරයෙක් හැටියට කටයුතු කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

මහේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment