රාජ්‍ය ආයතන විකුණන්න එපා – ත්‍රෛනිකායික මහානාහිමිවරු ජනපතිට දන්වති

201

මෙරට රාජ්‍ය බැංකු පද්ධතිය මෙන්ම ආර්ථික හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද සුවිසල් දායකත්වයක් සපයන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ව්‍යාපාරික ලාභාපේක්ෂාවෙන් පමණක් කටයුතු කරන විදේශීය ආයතනයන්ට විකුණා දැමීම රට තුළ අනාගතයේ දී දැවැන්ත සමාජ, ආර්ථික, දේශපාලනික අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට මෙන්ම ජන ජීවිතය අස්ථාවර කිරීමට ද හේතු විය හැකි බව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර සිටිති.

ආර්ථික මර්මස්ථානයන් වන මෙම පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යෑමට නම් විකිණීම පසෙක තබා ආදායම් උත්පාදනය කරන ආයතන බවට පත් කළ යුතු යැයි ද උන්වහන්සේ අවධාරණය කරති

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්ටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන යන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජනපති වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මහජන සුබ සිද්ධිය, ජාතික ආරක්ෂාව මෙන්ම රටේ ආර්ථික ස්ථායිත්වය පදනම් කොට ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යාපාර රටේ මහජන සම්පත් බව නොරහසකි. එකී රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුගත කිරීමට වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධව සමාජය තුළ දැඩි විවේචනයක් පවතී. එම ක්‍රියාපටිපාටිය තුළ විනිවිදභාවයක් නොතිබීම මෙන්ම මහජන අදහස් යෝජනා පිළිබඳ අවධානයට යොමු නොකොට ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාජයෙන් රාජ්‍ය සම්පත් විකුණා දැමීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ඒ තුළින් මහජන සුබ සාධනය, ජාතික හා සමාජ ආරක්ෂාව පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවක් උද්ගත වන බවත් මහජනතාවගේ අදහසයි. රජය විසින් ගෙන යනු ලබන මෙම රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ පසුගිය කාලවකවානුව තුළ මෙරට වෘත්තීය සමිති බහුතරයක් රජයට අප්‍රසාදය රජයට පළ කරන ආකාරය අපි නිරීක්ෂණය කළෙමු.

ගතවූ වසර 76 ක කාලය තුළ ජාතික ප්‍රතිපත්තියකින් තොරව වැරදි ආර්ථික උපායමාර්ග මත අත්තනෝමතික හා අවස්ථාවාදී ලෙස විවිධ රජයන් කටයුතු කිරීම තුළ අනේකවිධ ජාතික, දේශපාලනික, සමාජීය හා ආර්ථික අර්බුද උද්ගත වූ ආකාරය පිළිබඳවත් ඒ සඳහා තිරසර විසඳුම් සෙවීමට ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව මෙන්ම මහජන සුබසිද්ධිය අරමුණු කරගත් ප්‍රමුඛතා සංවර්ධන සැලසුමක අවශ්‍යතාව ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ලෙස පසුගිය කාලය පුරාවටම අපි විවිධ රජයන් වෙත දැනුම් දී ඇත්තෙමු. රටේ මහජන මතය වනුයේ රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් සිදුකරන දේශපාලන අතපෙවීම්, බඳවාගැනීම් රාජ්‍ය සම්පත් අවභාවිතය, දූෂණය හා වංචාව වැළැක්වීමට නිසි යාන්ත්‍රණයක් සකස් කර නිසි අධීක්ෂණයක් තුළින් මහජන සුබ සිද්ධිය සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙන රාජ්‍ය නියාමන අංශයන් ගෙන් නිසි පරිදි නියාමනයකට ලක් කෙරෙන නිවැරදි කළමනාකරණයකට රාජ්‍ය ආයතන පත් කිරීමට රජය කටයුතු කළ යුතු බවයි.

එහෙත් රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම තුළින් කෙතරම් දුරට එම ආයතන රාජ්‍ය නියාමනයට ලක් කළ හැකිවේ ද ? රට තුළ උද්ගතවන ස්වභාවික ආපදා අවස්ථාවක දී හෝ සමාජ, ආර්ථික අර්බුදයක දී පෞද්ගලීකරණයට ලක් කළ එබඳු ආයතනයන්ගේ ක්‍රියාකලාපය කවරාකාර වේද? යන ගැටලු හමුවේ මහජනතාව දැඩි පීඩනයකට පත්ව සිටී.

ක්ෂාන්තිය, මෛත්‍රිය, දයාව, කරුණා දී ගුණාංගයන් පෙරටුකොට ගෙන මහජන සුබ සිද්ධිය උදෙසා කටයුතු කරමින් යටිතල පහසුකම් සංවර්ධනය, අත්‍යවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යෑම මෙන්ම සොර සතුරු, ත්‍රස්තවාදී උපද්‍රව ආදියෙන් ජනතාව ආරක්ෂා කර ගනිමින් ජනජීවිතය ස්ථායිකරණය උදෙසා කටයුතු කිරීම රජ්‍ය නායකයෙකුගේ පරම යුතුකම හා වගකීම වන බව චක්කවත්ති සීහනාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

එසේම රටේ සෞඛ්‍ය අංශය තුළ උද්ගතව ඇති අර්බුදය මේ වනවිට ජන ජීවිතය අඩාල කිරීමට දැඩි බලපෑමක් එල්ල කිරීමට හේතු වී ඇත. එහෙයින් මෙකී සියලු කාරණා පිළිබඳ ජනපතිතුමන්ගේ කඩිනම් අවධානය යොමුකර ජන ජීවිතය අඩාල වන මහජන සුබ සිද්ධිය අවිනිශ්චිතතාවකට ලක් කෙරෙන ජාතික ආරක්ෂාව පිළිබඳ සංකාවන් නිර්මාණය වන තීරණ ගැනීමෙන් වැළකී මහජන විශ්වාසය තහවුරු වන රටේ අනාගතය පිළිබඳ සුරක්ෂිත බලාපොරොත්තුවක් තැබිය හැකි විධිමත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියකට යොමුවන ලෙසත් ඒ සඳහා අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලෙසත් හිතාධ්‍යාශයෙන් යුතුව දන්වා සිටිම්හ. තිරසර විසඳුම් මගින් උද්ගත වී ඇති අර්බුද නිරාකරණය කොට සුරක්ෂිත දේශයක් බිහි කරන්නට ඔබ තුමන්ට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය හා ධෛර්ය ලැබේවායි ආශිංසනය කරම්හ.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment