රිළවුන් වෙනුවට ඇදුරන් යවමු

1739

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් බැහැරවී සිටීම නිසා රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයට ලක්ව ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න කියයි. සිසුන් 270,000 ට අධික පිරිසක් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටියහ. මෙතෙක් ඔවුන්ගේ උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ වී නැත. මේ නිසා 2022 සාපෙළ සිසුන් පන් ලක්ෂයකගේ පමණ විභාගය පැවැත්වීම අර්බුදයකට ලක්ව තිබේ. ආචාර්යවරුන්ගේ ගැටලුව නිසා මාස තුනක් පමණ විශ්වවිද්‍යාල වසා දමා තිබිණ. උසස් පෙළ සිසුන්ගේ උත්තර පත්‍ර නොබැලූ විට එහි ප්‍රතිපල දීම පමාවෙයි. එම පමාවත් සමගම සිසුන් විශ්වවිද්‍යාලයට යෑම ද පමා වෙයි. එම පමාවත් සමගම විශ්වවිද්‍යාලයෙන් පිටවී රැකියා ලැබීමේදී ද පමාවකට මුහුණ දීමට ඔවුන්ට සිදුවෙයි. අන්තිමට මේ අය කසාද බඳින්නේ මැදි වියට පත්වූ පසුය. ඔවුන් තම දූ දරුවන් එක්ක ළදරු පාසලට යනවිට ගුරුවරියෝ සිතන්නේ ඔවුන්ගේ දරුවන් ආච්චි හෝ සීයා සමග ළදරු පාසලට එන බවය.

ශ්‍රී ලංකාවේ සරසවි පද්ධතිය අංග සම්පූර්ණ කුණු ගොඩකි. විවිධ නිල මැස්සෝ එහි වාසය කරන්නාහ. මේ නිල මැස්සන් විසින් බෝ කරන ශිෂ්‍ය සටන් අරගල දේශපාලන ගුටි කෙළි සහ වෙනත් ලෙඩ රෝග හේතුවෙන් අවුරුදු 5ක් විශ්වවිද්‍යාලයේ සිටිය යුතු ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට විභාග පාස්වී විවෘත සමාජයට ඒමට සිදුවන්නේ අවුරුදු 10 ට පමණ පසුය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බැලීම ප්‍රතික්ෂේප කිරීමෙන් මේ කසළ ගොඩ තවත් පුළුල් වී තිබේ. එහි බලපෑම අ.පො.ස. උසස් පෙළෙන්ම පටන්ගන්නා නිසා වෙනදා විශ්වවිද්‍යාලය තුළ දහ අවුරුද්දක් කොටන එකාට මෙදා පහළොස් අවුරුද්දක් පමණ විශ්වවිද්‍යාලය තුළ කල්ගත කිරීමට සිදුවනවා ඇත. ගුරුවරුන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් පළිගැනීම කිසිසේත්ම කරනු නොලැබේ. ඉපැරණි භාරතයේ විසූ ඇතැම් කසඩ දිසාපාමොක්වරුන් තමන්ගෙන් ශිල්ප ලබාගත් ශිෂ්‍යයන්ට ඉරිසියා කළ අවස්ථා තිබිණ. එවිට ඔවුන් කරන්නේ එම ශිෂ්‍යයාට කිසියම් භයානක වැඩක් භාරදී මරු කටකට යැවීමය. ගුරු භක්තිය නිසා එම ගමන යන සිසුවා මරු කටේදී ජීවිතක්ෂයට පත්වෙයි. ඒ වැඩවසම් සමාජය මේ ලෝකයෙන් තුරන් වී ඇත. මෙකල සිටින ගුරු පරම්පරාව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉරිසියා කරන්නේ නැත. වාර අවසානයේදී ගුරුවරියක් විසින් දෙමව්පියන්ගෙන් තෑගි වශයෙන් සාරියක් ලබා ගැනීම එතරම් දරුණු වැඩක් නොවේ. එය අල්ලස් පනතට යටත් වන නමුදු වරද ඉතා සුළු බැවින් ඒ ගැන විපරමක් කරන්නේ නැත. අපගේ යෝජනාව උසස් පෙළ උත්තර පත්‍ර නොබලන සරසවි ඇදුරන් අල්ලා රිළවුන් වෙනුවට චීනයට යැවිය යුතු බවය. චීනය වැනි රටවල් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන විශාල වශයෙන් උනන්දු වෙයි. අධ්‍යාපනය කඩාකප්පල් කරන විෂම බලවේග අත්අඩංගුවට ගෙන පෝලිමේ තබා එම බලවේගවලට වෙඩි තැබීම චීනයේ සිරිත ය. මේවා අප දකින්නේ ඉතාම හොඳ විනයානුකූල සිරිත් විරිත් ලෙසය. දරුවකුගේ අධ්‍යාපනයෙන් පළිගැනීම හෙණ ගහන අපරාධයකි. රටක දියුණුව සඳහා ශ්‍රමය සහ බුද්ධිය යන දෙකම අවශ්‍යය. අධ්‍යාපනය මගින් සිදුකෙරෙන්නේ බුද්ධිය ඔපමට්ටම් කර ප්‍රඥාවේ දොර ඇරීම සඳහා යතුරක් ලෙස එම බුද්ධිය යොදා ගැනීමය.

මේ කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න ඉදිරිපත් කරන තවත් තර්කයක් කෙරෙහි යොමුවීමට අපි අදහස් කරමු. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවකුට අවුරුදු 21 දී පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගත හැකි බවත් රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගැනීම සඳහා ඔහුට හෝ ඇයට අවුරුදු 26 වනතුරු සිටීමට සිදුවන බවත් ඇය කියයි. එසේම පෞද්ගලික විශ්වවිද්‍යාල නියෝජනය කරන විද්‍යායතන රාශියක් මේ රටේ තිබෙන බවත් උසස්පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමෙන් ඉවත්ව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරු එම පෞද්ගලික සරසවිවල උගන්වන බවත් ඇය කියා සිටී. මේ නීච සහ කුණු තත්ත්වය හෙළිදරව් කිරීම ගැන අපි රෝහිණී කවිරත්න මහත්මියට ස්තුතිවන්ත වෙමු. ආණ්ඩුවේ, රෝහල්වල වැඩ සිදුවන්නේත් මෙහෙමය. ස්ට්‍රයික් කරන දොස්තරලා චැනල් පොළේදී හමුවීමට රට වැසියන්ට පුළුවන. ඒ සඳහා යහමින් මුදල් ගෙවිය යුතුය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස්පෙළ සිසුන්ගේ ජීවිත කඩාකප්පල් කිරීමේ යෙදී සිටින්නේ රජයේ අලුත් බදු ප්‍රතිපත්තිය නිසාය. මෙබඳු පල් හොරුන්ට බදු ගැසීම පමණක් නොව ඔවුන් රටේ අධ්‍යාපනයට කරන විනාශය වෙනුවෙන් හිරේ දැමීම පවා කළ යුතුය. ආණ්ඩුව එබඳු දැඩි ප්‍රතිපත්තියකට නොයන්නේ මන්දැයි අපට නොතේරේ. මේ රටේ පාලනය කුඩුකේඩු දොස්තරලා අතටත්, දාමරික සරසවි ඇදුරන් අතටත් නොයායුතු බව අපගේ විශ්වාසය වේ. මේ දාමරිකත්වය සහ කුඩුකේඩුකම සමතලා නොකළොත් අපට හැමදාම සිටින්නට සිදුවන්නේ ප්‍රඥා ප්‍රදීපය නිවා දමා ගන අන්ධකාරය තුළය. මේ රටේ සාමාන්‍ය පන්තියේ දරුවන්ගේ ප්‍රඥා ප්‍රදීපය නිවා දැමීමේ කූට කුමන්ත්‍රණයක් වැඩවසම් යුගයේදී තිබිණ. අප මෙහිදී වැඩවසම් යුගය ලෙස හඳුන්වනු ලබන්නේ 1948 න් පසු මෙරට ආරම්භ වූ කළු සුද්දන්ගේ යුගයයි. මේ යුගය තුළදී දේශීය නිර්දන පන්තියේ දූ දරුවන් හිස ඔසවනු වැළැක්වීම සඳහා දේශීය ධනපති පන්තියේ දූ දරුවන්ගේ මව්පියවරු විශාල වැඩපිළිවෙළක් අනුගමනය කළහ. අද සිදුවෙමින් පවතින්නේත් එයමය.

advertistmentadvertistment
advertistmentadvertistment