රූපලාවන්‍ය ලේබල් ගහලා පිළිකා කාරක අඩංගු ක්‍රීම් රට වටේටම බෙදලා

62

පිටකොටුවේ ව්‍යාපාරිකයෝ 4දෙනෙක් අත්අඩංගුවට

පාවිච්චියට නුසුදුසු පිළිකා කාරක අමුද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය උපකරණ ආනයනය කර රට පුරා බෙදා හරින පිටකොටුවේ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථාන හතරක් ඊයේ (21 වැනිදා) වැටලූ පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය රුපියල් දශ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ක්‍රීම් වර්ග සමග ව්‍යාපාරිකයන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විරසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයන් යොදවා ඊයේ උදෑසන කළ මෙහෙයුමකදී මේවා අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී සොයා ගත් පිළිකා කාරක අඩංගු ක්‍රීම් වර්ග කාන්තාවන්ගේ සම පැහැපත් කිරීමට යැයි කියමින් අලෙවි කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

එහෙත් මෙම ක්‍රීම් වර්ග නිසි ප්‍රමිතියකින් තොර ඒවා වන අතර ඒවා ආනයනය කිරීමේදී අවශ්‍ය අවසරයන් පවා ලබාගෙන නොමැති බව හෙළිවී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තහනම් කර ඇති ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය උපකරණ මෙසේ පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම ව්‍යාපාරිකයන් සිව් දෙනා දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් මෙම ක්‍රීම් වර්ග ආනයනය කර රට පුරා බෙදා හැර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙම විමර්ශනය පැවැත්වේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment