රේඩියල් ස්නායුව අනතුරට පත්වීම

436

සැටඩේ නයිට් පෝල්සි (Saturday Night Palsy) යන නම ඇසූ විට ඔබට යම් කුතුහලයක් ඇතිවිය හැකිය. මොකක්ද මේ සෙනසුරාදා රාත්‍රියේ ආඝාතය කියන්නේ කියා.

මෙම රෝගී තත්ත්වයේදී සිදුවන්නේ අතේ ඉහළ කොටසේ ඇති රේඩියල් ස්නායුව (Radial Narve) යම් පෘෂ්ඨයක් මත තෙරපී අනතුරට පත්වීමය. එවිට එම ස්නායුව මගින් පාලනය වන මාංශපේශි පණ නැතිවී යයි.

මෙම රෝගී තත්ත්වය බහුලව දකින්නට ලැබුණේ එංගලන්තය වැනි රටවලයි. එංගලන්තයේ බොහෝ දෙනා සෙනසුරාදා රාත්‍රියට සාද පවත්වති. එම සාදවලදී මත්පැන් පමණට වඩා ගත් විට ඉන් මත් වී තමන් සිටින පුටුවල ඇන්දට අත දමාගෙන මුළු රැයම එතැනම නිදා ගනිති.

මෙහිදී අතේ ඉහළ කොටසේ ඇති රේඩියල් ස්නායුව බොහෝ වේලාවක් පුටුවේ ඇන්දේ දාරවලට තෙරපීම නිසා ස්නායු ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවේ. ඉන් එම ස්නායුව අනතුරට පත්වේ.

මෙම රේඩියල් ස්නායුව මගින් පාලනය කරන අත වැලමිටෙන් දිගහරින පේශිය, මැණික් කටුව සන්ධිය දිගහරින පේශීන් සහ ඇඟිල්ල දිගහරින පේශීන් (Extensors) මෙම රෝගී තත්ත්වයේදී පණ නැතිව යයි. එවිට රෝගියාට වැලමිට දිගහැරීමටත්, මැණික් කටුව සන්ධිය දිගහැරීමටත්, ඇඟිලි දිගහැරීමටත් නොහැකි වේ. මෙම තත්ත්වය සැටඩේ නයිට් පෝල්සි ලෙස හඳුන්වයි.

මෙම රේඩියල් ස්නායුව බහුලව තෙරපෙන තවත් අවස්ථාවක් ලෙස දෙදෙනෙක් නිදා ගනිද්දී එක් අයෙක් අනෙක් අයගේ අත උඩ මුළු රැයම නිදාගැනීම ද හඳුනාගෙන ඇත. බොහෝවිට මෙය මධුසමය සඳහා ගිය විවාහක යුවළ අතර නිතර දැකිය හැකිය.

රේඩියල් ස්නායුව අනතුරට පත්වීම

මෙම තත්ත්වයට හනිමූන් පෝල්සි (Honeymoon Palsy) හෙවත් මධුසමය ආඝාතය ලෙස පවසයි.

වෛද්‍යවරු මෙම රෝගය EMG (Electro Myography) පරීක්‍ෂණයකට ලක්කර තහවුරු කර ගනිති.

මෙම රෝග තත්ත්වය සඳහා භෞත චිකිත්සක ප්‍රතිකාර අත්‍යවශ්‍ය වේ. එහිදී භෞත චිකිත්සකවරු රෝගියාගේ ස්නායු උත්තේජනය (Electrical Nerve stimulation), සන්ධි චලනය කරවන ව්‍යායාම (Mobilizing Exercises), පේශි ශක්තිමත් කරන ව්‍යායාම (strengthening Exercises), සහ ආධාරක(Splints) යොදාගනිති.

ඉක්මනින් ප්‍රතිකාර ගන්නා රෝගීන් බොහෝ විට මාස 2ත් 4ත් අතර කාලයකදී සුවවේ.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0718152031 ඇමැතිය හැකිය.

රේඩියල් ස්නායුව අනතුරට පත්වීම

ජාලිය උඩුවැල්ල
භෞත චිකිත්සක අධිකාරි,
රිජ්වේ ආර්යා
ළමා රෝහල, කොළඹ.

advertistmentadvertistment
advertistmentadvertistment