රෝද පුටුවෙන්, කිහිලිකරුවෙන් යන අයට ගෙදරම ඉන්න වෙන හැඩ…

329

ආබාධිත රණවිරුවන්ට අලුත් රෝද පුටුවක්වත් ගන්න බැරි තත්ත්වයට පත් වෙලා…

වෙළෙඳපොළේ තිබෙන සහාය තාක්‍ෂණික උපකරණ ප්‍රමිතියෙන් බාලයි…

ආබාධිතයන් භාවිතා කරන මෙවලම් මිල 400% කින් ඉහළ ගිහින්

ආබාධිත උපකරණවල අමතර කොටස් මිලට ගන්න මෙරට කොහේවත් නෑ…

කෑම බීම නොව දෙපා වාරු නැති අසරණ මිනිසුන්ට කිහිලිකරුවක් හෝ මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. අධික ලෙස ආනයනික බදු ඉහළ යෑම තුළ ආබාධිත පුද්ගලයන් පරිහරණය කරන මෙවලම් සහ උපකරණ තිස් එකක් පමණ පැවැති මිල ගණන් තුන්, හතර ගුණයකින් වැඩි වී ඇති බව වාර්තා වේ. රෝද පුටු සහ ඒ සඳහා අවශ්‍ය අමතර කොටස්, කිහිළිකරු, සැරයටි සහ ඒවාට අවශ්‍ය අමතර කොටස්, ශ්‍රවණධාර උපකරණ සහ ඒවාට අවශ්‍ය අමතර කොටස්, දෘෂ්‍යාබාධිත පුද්ගලයන් කියවීම සඳහා භාවිත කරන බ්‍රේල් උපකරණ සහ අමතර කොටස් ඒ අතර ප්‍රධානය. එම සහාය තාක්‍ෂණික උපකරණ හිඟ තත්ත්වය තුළ මෙරට ආබාධිත පුද්ගලයන් දැඩි ලෙස අසරණ වී සිටින බව වාර්තා වේ.

“ආබාධිත දරුවන්ට උපකරණ නිෂ්පාදනය කරගැනීමට අපි ළඟට එන දෙමවුපියන්ට ඒ භාණ්ඩවල මිල කිව්වම ‘එච්චර සල්ලි නෑ’ කියලා හිස් අතින් යනවා. එහෙම වෙලාවට අපේ පපුව පිච්චෙනවා. මේ මෑතක දවසක අපේ රණවිරුවන් රැකබලාගන්න ආයතනයක ප්‍රධාන නිලධාරියෙක් මට කතා කරලා ‘සමීර… අලුත් රෝද පුටු ගන්න අපිට සල්ලි නෑ. පරණ රෝද පුටු ටික අලුත්වැඩියා කරලා දෙන්න’ කියනවා. දැන් පරණ රෝද පුටු අලුත්වැඩියා කරන්න යන මුදලත් එක්ක අලුතින් රෝද පුටු හදන්න පුළුවන්. ඒත් විශාල මුදලක් වියදම් වෙනවා. රණවිරුවන්ට කියලා රුපියලක්වත් අඩු කරන්න බෑ. නිෂ්පාදනවලට අවශ්‍ය සෑම දෙයක්ම තුන්, හතර ගුණයකින් වැඩි වෙලා තියෙනවා…” ආබාධිත පුද්ගලයන් සඳහා උපකරණ නිෂ්පාදන කරන ආයතනයක් පවත්වාගෙන යන සමීර චන්දිමාල් එසේ හඬ අවදි කරන විට හදවත කම්පනයට පත් වූයේ තිස් වසරක් පුරාවට මෙරට ගිනි ඇවිළ වූ කුරිරු ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීමට සටන් කර අත්, පා, දෑස් අහිමි කරගෙන ජීවිත කාලයම අබ්බගාතයන් සේ සිටින වීරෝදාර රණවිරුවන්ට අත්ව ඇති ඉරණම ගැන සිහිවන විටය. ත්‍රස්තවාදී යුද්ධය නිසා ආබාධිත තත්ත්වයට පත්වූ විරුවන් අති විශාලය. රජයේ ආරක්‍ෂක අංශවල සාමාජිකයන් 15,000 කට වඩා වැඩි සංඛ්‍යාවකගේ අත්, පා අහිමි වී ඇත. එමෙන්ම යුද්ධයට මැදිව ආබාධිත තත්ත්වයට පත් වූ සිවිල් ජනතාව ඊට වඩා වැඩි විය හැකිය. මිනීමරු ප්‍රභාකරන් සහ ඔහුගේ ත්‍රස්තවාදය විනාශ වී දස වසරක් තුළ යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත් සිවිල් ජනතාව කෙසේ විනා රණවිරුවන් අමතක කිරීම ජාතියේ ගුණමකුකමකි. ආබාධිත රණවිරුවන් සහ මෙරට සෙසු ආබාධිත පුද්ගලයන්ට අත්ව ඇති ඉරණම ගැන තව බොහෝ කරුණු කාරණා සමීර චන්දිමාල් අපට කීවේය.

“අපේ රටේ ආබාධිත ළමයින්ට ගැළපෙන විදිහට උපකරණ මෙරට නිෂ්පාදනය කරන ආයතන තිබුණේ නෑ. දැන් මම පොඩියට ඒ නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. ආබාධිත දරුවන්ට, රණවිරුවන්ට අවශ්‍යතාව මත රෝද පුටු නිෂ්පාදනය කර දෙනවා. පහුගිය කාලයේදී ඒවාට අවශ්‍ය සමහර කොටස් චීනෙන් ගෙන්නුවා. ඩොලරයේ අගය වැඩි වීමත් එක්ක දැන් ගෙන්වන්න බෑ. වියදම වැඩියි. ඉස්සර අමතර කොටස් ආනයනය කර නිෂ්පාදනය කරලා අතින් කරකවන රෝද පුටුවක් රුපියල් 35000 ට දෙන්න පුළුවන් වුණා. දැන් 75000 ට දෙන්නත් බෑ. ඒ වගේම රෝද පුටුවකට අවශ්‍ය අමතර කොටස් ගන්න ලංකාවේ කිසිම තැනක් නෑ. දවසකට මිනිස්සු දහ, පහළොස් දෙනෙක් අපිට කතා කරලා රෝද පුටුවල අමතර කොටස් ගැන අහනවා. ‘අපි ළඟ නෑ…’ කියනවා හැරෙන්න වෙන මොනව කියන්නද? ආබාධිත දරුවන් ඉන්දවලා තියෙන උපකරණය ඉස්සර නිෂ්පාදනය කරලා දුන්නෙ රුපියල් 18000 – 22000 ක් අතර මිලකට. දැන් 55000 යි. ඒ වගේම මෑත කාලයේදී අපි කරපු නිෂ්පාදනවලින් 90% ක් ඩොනේෂන්. පුද්ගලික මට්ටමෙන් උපකරණ මිලදීගැනීම විශාල වශයෙන් අඩු වෙලා…” ආබාධිත තත්ත්වයට ගැළපෙන මෙරට රෝද පුටු නිෂ්පාදනය කරන එකම නිෂ්පාදනකරුවා කියන කතාව ඇසෙන විට දෙසවන තෙත් වන තරම්ය. සමාජයට නොතේරෙන මේ සංවේදී ගැටලුව ගැන පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුව තුළ ද කතාබහට ලක්වන අයුරු අපි මාධ්‍යයෙන් දුටුවෙමු. පාර්ලිමේන්තුව තුළ මෙන්ම විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එකී ගැටලුව සම්බන්ධයෙන් සමාජය දැනුවත් කළ ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතාට ද අපි කතා කළෙමු. මේ පෙළගැසෙනුයේ අදාළ ගැටලුවේ බරපතළ තත්ත්වය ගැන ඔහු කියන කතාවය.

රෝද පුටුවෙන්, කිහිලිකරුවෙන් යන අයට ගෙදරම ඉන්න වෙන හැඩ…

“මෙරට ආබාධිත ප්‍රජාවට තිබෙන ගැටලු පෙන්වාදීමත් සමඟ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට සමාජ කතිකාවතක් නිර්මාණය වෙමින් තිබෙන බව පේනවා. ඒ කතිකාව නිර්මාණය වෙන්න පටන් ගත්තෙ නව බදු සංශෝධන නිසා විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව භාවිතා කරන සහාය තාක්‍ෂණික උපකරණවල මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට අප විසින් මාධ්‍යයට කරන ලද හෙළිදරව්වත් සමගයි. ආබාධිතයන් භාවිතා කරන මෙවලම් සහ උපකරණවල මිල අසීමිතව ඉහළ ගොස් ඇති බවට අපට තොරතුරු ලබා දුන්නෙ ආබාධිතයන් වෙනුවෙන් සුබසාධන කටයුතු සිදු කරන සංවිධාන කීපයක්. එම තොරතුරු සම්බන්ධයෙන් පෞද්ගලිකව සොයා බලනකොට උද්ගතව ඇති ගැටලුවේ බරපතළකම ගැන අපිට අවබෝධ වුණා. එම තොරතුරු සහිතව පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී එම ගැටලුව ගැන අපි කතා කළා. ඒ අවස්ථාවේදී රජයේ පාර්ශ්වයෙන් කියා සිටියේ ආබාධිතයන් සඳහා ගෙන්වන කිසිදු උපකරණයකට බදු පනවා නැති බවයි. ඒ විතරක් නෙමෙයි, ආබාධිතයන් භාවිතා කරන මෙවලම් මිල 400% කින් ඉහළ යන බවට අප නැගූ චෝදනාව අසත්‍ය බව රජය හදිසි මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට පවසා තිබුණා. අපි ජනතාව බියට පත් කිරීමට උත්සාහ කරන බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් හදිසි මාධ්‍ය නිවේදන නිකුත් කරන්න රජයට තියෙන හදිසිය රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට තිබුණා නම් ආබාධිත ප්‍රජාව මේ තරම් අසරණ වෙන්නෙ නෑ. රජය මොන මාධ්‍ය නිවේදන නිකුත් කළත්, බදු වැඩි කළේ නැති නම් ඒ උපකරණවල මිල වැඩි වෙන්නෙ කොහොමද? ඒ ප්‍රශ්නයට රජයට උත්තර නෑ. ඒ වගේම මෙරට ජනතාව මිලියන දෙකකට නොඅඩු පිරිසක් විවිධාකාර ශාරීරික ආබාධවලින් පීඩා විඳින බව මීට පෙරත් මම සඳහන් කළා. එම ආබාධ මඟහරවාගෙන රටේ දියුණුවට දායක වන කොටසක් බවට පත් වෙන්නෙ ඔවුන්හට වෛද්‍ය තාක්‍ෂණික උපකරණ නොඅඩුව ලැබුණොත් විතරයි. අපි මේවා කියන්නෙ ජනතාව බියට පත් කරන්න නෙමෙයි. උද්ගතව ඇති තත්ත්වය ගැන සමාජය දැනුවත් කරන්න. ඒ නිසා කෙටි කාලීන පියවරක් ලෙස ආබාධිතයන් සඳහා අවශ්‍ය උපකරණ මත පනවා ඇති ආනයනික සහ අනෙකුත් බදු අනුපාත පහළ දමන ලෙසත්, දිගුකාලීනව එම උපකරණ දේශීයව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අපි රජයට බල කර සිටිනවා. ඒ වගේම මේ ගැටලුවට ඇති ස්ථිරසාර විසඳුම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් භාවිත කරන සහාය තාක්‍ෂණික උපකරණ දේශීයව නිෂ්පාදනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම…”

ගාමිණි වලේබොඩ මන්ත්‍රීවරයාගේ කතාව අගනේය. ඔහු ඉදිරිපත් කරන යෝජනා රජය විසින් ක්‍රියාවට නංවන්නේ නම් විශේෂිත රෝද පුටු නිෂ්පාදනය කරන සමීර චන්දිමාල් වැනි දේශීය නිෂ්පාදනකරුවන් තව, තවත් මෙරටින් බිහිවන බව සැබෑය. එහෙත් සමීර චන්දිමාල් පෙන්වා දෙන ආකාරයට මෙන්ම අප කළ ගවේෂණයට අනුව විවිධ ආබාධිත පුද්ගලයන්ගේ සහාය තාක්‍ෂණික උපකරණ නිෂ්පාදනය කරන සියලුම ආයතන පවතින ආර්ථික අර්බුදය තුළ අකර්මන්‍ය වී තිබේ. නිෂ්පාදන කිරීම සඳහා අමුද්‍රව්‍ය නොමැති ගැටලුව ද දැඩිව බලපාන බව වාර්තා වේ. එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් සහාය තාක්‍ෂණික උපකරණ නිෂ්පාදන කරන දේශීය නිෂ්පාදනකරුවන් ගැන රජය කිසිදු දැනුවත් භාවයක් නොමැති බව ද ලැබෙන ආරංචි මාර්ගය. දැනට වෙළෙඳපොළේ ඉහළ මිල ගණන් යටතේ තිබෙන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පාවිච්චි කරන උපකරණවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ද විවිධ ගැටලු මතු වෙමින් තිබෙන බව වාර්තා වේ. අධික මිල ගණන් යටතේ ප්‍රමිතියෙන් තොර සහාය තාක්‍ෂණික උපකරණ වෙළෙඳපොළේ අලෙවි කිරීම තුළ විශේෂ අවශතා සහිත පුද්ගලයන් දැඩි අසාධාරණයකට ලක්ව සිටින බව ද එම ප්‍රජාව තුළින් ඇසෙන සංවේදීම කතාවකි.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් යනු සිය ජීවිතයේදී තම අවශ්‍යතා සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් සපුරා ගැනීමට නොහැකි ආකාරයේ කායික හෝ මානසික ඌණතා සහිත පුද්ගලයන්ය. එම තත්ත්වය උපතින්ම ඇති වූවක් හෝ ජීවන ගමනේදී නොසිතූ මොහොතක ඇති වූවක් විය හැකිය. එමෙන්ම පෙනීම, ඇසීම, සංචරණය, මතකය, සංජානනය සහ සන්නිවේදනය ආදී තත්ත්වයන් යටතේ ආබාධිත භාවයට පත් විය හැකි බවද සැබෑය. එවැනි අසරණ පුද්ගලයන් රැකබලාගැනීමට ප්‍රමුඛතාව ලබාදීම සෑම ශිෂ්ට සමාජයකම ප්‍රධාන කාර්යභාරයකි. එමෙන්ම ඕනෑම රටක බලාත්මක රජය විසින් එරට ආබාධිත පුද්ගලයන් රැකබලාගැනීම ප්‍රධාන කාර්යභාරයකි.

රෝද පුටුවෙන්, කිහිලිකරුවෙන් යන අයට ගෙදරම ඉන්න වෙන හැඩ…
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට ලෝක ජනගහනයෙන් 15% ක් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් බව හඳුනාගෙන ඇත. එම ප්‍රජාව ලෝකයේ විශාලතම ප්‍රතිලාභීන් නොවන සුළුතර ජනතාව බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ලෝක බැංකුව විසින් පෙන්වා දී ඇත. එමෙන්ම ලෝක ආබාධිත ජන සංඛ්‍යාවෙන් 80% ක් ජීවත්වනුයේ සංවර්ධනය වෙමින් පවතින මෙන්ම ඌණ සංවර්ධිත රටවලය. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2012 වන විට මෙරට ජනගහනය ලක්‍ෂ 204 කි. එම ජන අනුපාතය තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ලක්‍ෂ හයක් ලෙස ගණනය කර තිබිණි. එනම් එම වර්ෂයේදී මිනිසුන් 1000 කට 87 දෙනෙකු විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ලෙස හඳුනාගෙන තිබිණි. මේ වන විට මෙරට ජනගහනය මිලියන 22 ක් වන අතර ඉහත අනුපාතය අනුව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ලක්‍ෂ 20 ඉක්මවා යෑමට ඉඩ තිබේ. එමෙන්ම මෙරට වයස්ගත ප්‍රජාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සංඛ්‍යාව ද ප්‍රමාණාත්මකව ඉහළ යන බවද වාර්තා වේ. වයස අවුරුදු හැත්තෑව ඉක්ම වූ පුද්ගලයන් අතරින් 50% කට වඩා වැඩි සංඛ්‍යාවක් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් බව වාර්තා වේ. වයස අවුරුදු අසූව ඉක්ම යන විට එම අගය 60% දක්වා ඉක්ම යන බව ද වාර්තා වේ. එමෙන්ම මෙරට විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවෙන් හතරෙන් එකක් පමණ සක්‍රියව ආර්ථික ක්‍රියාවලියට දාකය වේ. අනුන්ට අත පා ජීවත්වීම වෙනුවට අභිමානවත්ව මුදල් උපයමින් ජීවත්වීමට වෙහෙසෙන අයුරු දැකීම ද සතුටකි. අවාසනාවන්ත කාරණය නම් පවතින ආර්ථික අර්බුදය තුළ විශේෂ අවශ්‍යතා සහිත ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් කරගෙන ගිය ස්වයං රැකියා කර්මාන්ත හා සුළු වෙළෙඳ ව්‍යාපාර බොහෝමයක් බිඳ වැටී තිබීමය. එම තත්ත්වය තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ගැන සොයාබැලීම රජයේ ප්‍රධාන කාර්යභාරයෙන් ඔබ්බට ගිය මානුෂීය යුතුකමකි. එහෙත් මෙවර අයවැයෙන් හෝ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව පිළිබඳ රාජ්‍ය අවධානය යොමු නොවීම කනගාටුවට කරුණකි. එමෙන්ම පවතින ආර්ථික අර්බුදය තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් රැකබලාගැනීම වෙනුවෙන් ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලින් මෙරට රජයට ලබා දුන් මහා පරිමාණ ආධාර මුදල්වලට සිදුව ඇති දේ ගැන කිසිවෙක් කතා නොකිරීම ද පුදුමයකි.

එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ අධ්‍යාපන අයිතීන් සුරක්‍ෂිත කළ යුතු බවට අන්තර්ජාතික වශයෙන් එකඟතාවන්ට පැමිණ ඇති පසුබිමක මෙරට විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවෙන් පරිපූර්ණ අධ්‍යාපනය වෙත යොමු වී ඇත්තේ 5% කට අඩු ප්‍රමාණයකි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමේ මධ්‍යස්ථාන ග්‍රාමීය වශයෙන් ව්‍යාප්තව නොතිබීම, පවතින ස්වල්පයක් වූ අධ්‍යාපන මධ්‍යස්ථානවල තිබෙන පහසුකම් ප්‍රමාණාත්මක නොවීම, පුහුණු ගුරුවරුන් නොමැතිකම ආදී කාරණා මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. මෙරට අධ්‍යාපනය සම්බන්ධයෙන් නිතර හඬ අවදි කරන බොහෝ දෙනකුට විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් පිළිබඳ අමතවීම ද පුදුමයකි. එමෙන්ම මෙරට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ව සමාජයෙන් කොන් කිරීමේ ප්‍රවණතාවයක් ද ඇති බව වාර්තා වේ. එහෙයින් එම පුද්ගලයන් මානසික වශයෙන් දැඩි පීඩාවන්ට පත්ව ඇති බව ද වාර්තා විය. ආගමික විශ්වාස සහ විවිධ මති මතාන්තර අනුව ආබාධිත තත්ත්වයට පත්වීම අවාසනාවන්ත බවේ සංකේතය ලෙස හුවා දැක්වීම වැනි පටු ආකල්ප පිටුදැකීමට සමාජය තුළ හඬ අවදි කළ යුතුය. එමෙන්ම මෙරට බෞද්ධ සංස්කෘතිය තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, මවුපියන්, සහෝදරයන් තම පවුලෙන් ඈත් කොට තැබීමට සහෝදර සාමාජිකයන් කටයුතු නොකරති. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙක් නඩත්තු කිරීම කොතරම් අපහසු කාර්යක් වුවද එම සාමාජිකයාව හැකි පමණින් පෝෂණය කිරීම, රැකබලාගැනීම, ආදරය, කාරුණාව දැක්වීමට සහෝදර සාමාජිකයන් කැප වෙති. එහෙත් පවතින ලෝක ආහාර අර්බුදය හමුවේ නුදුරේදී මෙරට ආර්ථික ආහේනිය තව, තවත් උග්‍රවීම තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පෝෂණය කිරීම, රැකබලා ගැනීමට සහෝදර සාමාජිකයන්ට අසීරු කටයුත්තක් වන බව සැබෑය.

එහෙයින් 1996 වර්ෂයේදී සම්මත කළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතීන් ආරක්‍ෂා කිරීම සඳහා වූ පනත යටතේ සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය යටතේ මෙරට විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් පහසුකම් සැපයීමට රජය බැඳී සිටිය යුතුය. ලෝක සංවිධානවලින් ලබාදෙන ඩොලර් කුට්ටි යටි මඩි නොගසා ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම මෙරට රජයේ වගකීම බව අපි මතක් කර සිටිමු. එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පරිහරණය කරන සහාය තාක්‍ෂණික උපකරණ මිල පහළ දැමීමට රජය කටයුතු කිරීම මේ රටේ පව් සේදීමට කරන මහා පින්කමක් බව ද සිහිපත් කළ යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment