ගල්කන්දක් නොකළ යුතු බොරලුකන්ද

416

ආර් සම්බන්ධන් කියන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායකයාය. ඒ සන්ධානය දැන් දෙකට තුනට කැඩිලා. ඒ නිසාමත් වෙල්ලාල ජාතිවාදීන්ට ප්‍රශ්න. වාර්තා වෙන විදියට සම්බන්ධන් නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්ට දුරකථනයෙන් කතා කරල කී දෙයක් අනුව ආණ්ඩුකාරයා නියෝගයක් නිකුත් කරල ප්‍රාදේශීය ලේකම් පොන්නයියා දනේශ්වරන්ට බොරලුකන්ද රජමහා විහාරයේ ඉදිකිරීම් කටයුතු වහාම නවත්වන ලෙසට. උතුරු හා නැඟෙනහිර පළාත්වල මොකද වෙන්නෙ? බෞද්ධ විරෝධී ඉංගිරිසි ආණ්ඩු කාලෙවත් මෙහෙම දේ සිදු වුණේ නැහැ.

බොරලුකන්ද රජමහා විහාරය පිහිටලා තියෙන්නෙ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ. සම්බන්ධන් ඒ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී. ඔහු කලක් විපක්‍ෂ නායක වෙලත් හිටියා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිලාවැලි පාරේ පෙරියකුලම් ප්‍රදේශයේ බොරලුකන්ද රජමහා විහාරය පිහිටල තියෙන්නෙ. අවුරුදු දෙසීයකට මෙහා පැත්තෙ ලංකාවට පැමිණි අයකුගෙන් පැවැත එන තොණ්ඩමන්ටත් අවුරුදු හාරසීයකට මෙහා පැත්තෙ ලංකාවට පැමිණි අයකුගෙන් පැවැත එන සම්බන්ධටවත් නැඟෙනහිර පළාතේ ඓතිහාසික උරුමය ගැන හැඟීමක් නැතුව ඇති.

ඒත් ඔවුන් ලංකාවට පැමිණි දිනය එතරම් වැදගත් නැහැ. උරුමය බොහෝ විට හැඟීමෙන් එන එකක්. ඊයේ පෙරේදා ලංකාවෙ රටවැසිකම ලබාගත්ත අයකුට වුණත් උරුමය ගැන හැඟීමක් ලබාගන්න පුළුවන්. එය හුදෙක් ඉතිහාසය පාඩම් කිරීමෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නො වෙයි.

තොණ්ඩමන් ආණ්ඩුකාර ධුරයට පත් කළ රනිල් වික්‍රමසිංහ බද්දේගම පැත්තෙ. ඔහුට මානවම්ම රජුට සම්බන්ධයක් තියෙනවා කියනවා. ඒත් ඔහුට උරුමය ගැන හැඟීමක් තියෙනවා ද? නැඟෙනහිර පළාතේ දාගැබ් ලයිට් හවුස් සමග සම්බන්ධ කරල කතාවක් කියන්න උරුමය ගැන හැඟීමක් තියන අයකුට පුළුවන් ද කියලා මා දන්නේ නැහැ. පහුගිය දා අපි ගියා දොන් ජුවන්ගේ ලයිට් හවුස් බලන්න. එය තියෙන්නේ ඇමරිකා හා කැනඩා අතර සමුද්‍ර සන්ධියේ. ඒ ගැන පස්සෙ.

මේ රටේ ඉංගිරිසින් 1892 පනවපු ආඥා පනතකට අනුව බෞද්ධ සිද්ධස්ථානයක් ආණ්ඩුකාරයාගේ (එකල මුළු රටේ ම, නැඟෙනහිර පළාතෙ නොව) අවසරයක් නැතුව වුණත් හදන්න පුළුවන් වුණා පමණක් නො වෙයි, ඒ සිද්ධස්ථානය ආරක්‍ෂා කිරීමටත් ආණ්ඩුව බැඳී හිටියා. දැන් ඒ ආඥා පනත වෙනස් කරල ද දන්නෙ නැහැ.

එදා ඉංගිරිසි ආණ්ඩුකාරයා බැඳී හිටියත් බෞද්ධ සිද්ධස්ථාන ආරක්‍ෂා කිරීමට හා 1815 ගිවිසුමෙන් බුද්ධාගම හා දේවාගම රැකගැනීමට හා වර්ධනය කිරීමට අද ජනාධිපති රනිල් හා ඔහුගේ නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාරයා එසේ බැඳී නැද්ද? අද අප ජීවත් වෙන්නේ ඉංගිරිසින් තරමටවත් බුදුසසුන රකින්න වැඩ කරන්නේ නැති ඊනියා නිරාගමික ආණ්ඩුවක් යටතේ ද? බටහිරයන්ගේ හා ඉන්දියාවේ පරගලය එපමණකට සාර්ථක වෙලා ද?

විධුර වික්‍රමනායක නම් කියල තිබුණා ආණ්ඩුව නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාරයාගේ නියෝගය පිළිගන්නෙ නැහැ කියල. ඒත් ඒකෙන් වැඩක් වෙනවා ද කියන එක ප්‍රශ්නයක්. ආණ්ඩුවට තිබුණ වහාම ආණ්ඩුකාරයාගෙන් ප්‍රශ්න කරන්න. සම්බන්ධන්ට පුළුවන් නම් දුරකථන පණිවුඩයෙන් ආණ්ඩුකාරයාට උපදෙස් දෙන්න ආණ්ඩුවට බැරිකමක් තියෙන්න විදියක් නැහැ දුරකථනයෙන් ම ආණ්ඩුකාරයාට නියෝගයක් දෙන්න.

ඒත් ඒ වැඩේ කෙරිලා නැහැ. ඒ නිසා බොරලුකන්ද රජ මහා විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ ශීලවංස හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ම වැඩම කර තමන්වහන්සේගේ විරෝධය පළ කරන්න සිදුවෙලා. එතැන තිබූ කමිටු රැස්වීමට තොණ්ඩමන් ආණ්ඩුකාරය ද සහභාගි වී හිටිය බවයි කියැවෙන්නෙ.

ආණ්ඩුකාරයා තමන් කලින් දුන් නියෝගය අස්කරන්. ඒක හොඳයි. ඉංගිරිසින් නැඟෙනහිර පළාතේ දෙමළ ජනකොටසක් පදිංචි කළේ කඳුකරයේ පදිංචි කරන්න ටික කාලෙකට ඉස්සෙල්ලා. ඒ කොහොම වුණත් වෙල්ලාලයන් නැඟෙනහිර හරි කඳුකරයේ හරි දෙමළ ජනකොටස් පයිසෙකට මායිම් කෙළේ නැහැ.

කොහොමටත් අර දෙමළ බෞද්ධයන් ගැන කියවන බුද්ධියෙන් මත් වූ බුද්ධිමතුන් නැඟෙනහිර පළාතේ දෙමළ බෞද්ධයන් හිටියෙ කොහෙ ද කියල සම්බන්ධන්ටයි තොණ්ඩමන්ටයි කියල දෙනවා නම් හොඳයි. බැරි ද බොරලුකන්දට දෙමළ නමක් දෙන්න. උතුරු පළාතේ කදුරුගොඩට දීල තියෙන්නෙ.

● මහාචාර්ය නලින් ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment