ලක්දිව විරිදු කවියට පණදුන් ගුණදාස

42

2024.02.17 වැනි දිනට දැයෙන් සමුගෙන තෙමසක් සපිරෙන එම්. වී. ගුණදාස කිවිඳාණන් මේ රටේ සියලු දනන්ගේ දහම් දැනුම ආකල්ප වැඩිදියුණු කිරීමේ නියැළුණු අති දුර්ලභ කවියෙකි. එම්. වී. ගුණදාස යනු පොහෝ දින ආගමික උත්සවවල සහ තොරණ, සල්පිල්වල කවි ගායනා කළ අයකු ලෙස සැලකීම සාධාරණ නැත. ප්‍රතිභාපූර්ණ කාව්‍ය සංකල්පනාවලින් සහ භාෂා ඥානයක් සහිතව, අනන්‍ය වූ ගැඹුරු හඬකින් ආගමික සමාජයීය හා සංස්කෘතික පණිවිඩයක් සමාජයට ලබාදීමට උත්සාහ කළ පෞරුෂවත් කලාකරුවෙකි.

විශේෂයෙන් කුරුණෑගල යුගයේ රචිත ‘ජාතක පොත් වහන්සේ’ අසා රසවිඳීමට යෝග්‍ය ලෙස රචනා වූ ග්‍රන්ථයක් ලෙස සැලකේ. හෙතෙම බෝධිසත්ත්ව චරිතයේ විවිධ ආත්මභාවයන්වල සිදුවීම් පදනම් කරගෙන ගොඩනැඟී ඇති කතා පුවත් සරල පදමාලාවක් සමගින් රසාලිප්ත ලෙස පොදුජන විඥානය පෝෂණය කිරීමට සමත් වන ලෙස විරිදු කාව්‍යයෙන් ඉදිරිපත් කළේය. විරිදු ගායනය අතර කතාවේ අවස්ථා සිදුවීම් ප්‍රකාශ කිරීම රසිකයාගේ වින්දනය පුළුල් කිරීමකි. කවි පද බැඳුම, ගායනය හා රබන් වාදනය යන අවස්ථා තුනම ඔහු විසින් කරන විට ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ ඔහුගේ පෞරුෂත්වය මනාවට ප්‍රකට වේ. ජාතක කතාවේ හෝ දහම් සංකල්පයන්ගේ සන්දර්භයට හානියක් නොවී, එහි අන්තර්ගතයට උපරිම සාධාරණත්වයක් කරමින් විරිදු ඉදිරිපත් කිරීම ඔහුගේ විලාශයයි. ඔහු විරිදුවෙන් ශ්‍රාවකයන්ගේ ධර්ම ඥානය මෙන්ම දහම් රසය පෝෂණයත් සමග සමාජයේ ඇති අසාධාරණකම්, මානව ධර්මතා, යා යුතු මග පිළිබඳව සමාජ පණිවිඩයක් ලබාදීම ඉතා අගය කොට සැලකිය යුතුය.

එම්. වී. අමරදාස යනු ගුණදාස ශිල්පියාගේ ආදරණීය පියාය. මෙතුමාගේ ආභාසයෙන් විරිදු කලාවට ප්‍රවිෂ්ට වන ගුණදාස සූරීන් ජාතක කතා හා බෞද්ධ කතා වස්තු හොඳින් අධ්‍යයනය කර පසුව අනුවර්තන ශෛලියෙන් ඉදිරිපත් කිරීම කරයි. එමෙන්ම තම පියාගේ මතක ශක්තිය ඉහළ මට්ටමක පැවැති බවත් සාමාන්‍ය කතා ශෛලිය තුළත් කාව්‍යාත්මක ගුණයකින් යුක්ත බවත් ඔහුගේ ආදරණීය දියණිය වන එම්. වී. නිලූකා පවසයි.

80 දශකයේ මුල් කාලයේ එම්. වී. ගුණදාස කිවියාණන් රත්නපුර ඔරලෝසු කණුව අසල මහමඟ ජනතාව වෙනුවෙන් විරිදු ගායනා ඉදිරිපත් කරමින් සිටින අතර රත්නපුරේ සුළු මැණික් ව්‍යාපාරිකයන් කීපදෙනකු විසින් මෙතුමාට කහංගම පන්සලේ සල්පිලක් සඳහා විරිදු ඉදිරිපත් කිරීමට ආරාධනා කරන ලදී. එම අවස්ථාවට සහභාගි වී සිටි රත්නපුර අශෝක රෙකෝඩ්බාර් අධිපති අශෝක පැල්පොල මහතා, ගුණදාස සූරීන්ගේ දක්‍ෂතාවය දුටුවේය. ඔහු එවකට රත්නපුර සිරිලක් ෆැන්සි හවුස් ආයතනයේ සේවය කරමින් සිටි අයෙකි. ඔහුගේ මැදිහත් වීමෙන් එම ආයතනයේ මූලිකත්වයෙන් ප්‍රථම විරිදු කැසට් පටය නිකුත් කිරීමට කටයුතු සලසන ලදී. එය ලංකාවේ විරිදු කලාවේ සහ ගුණදාස සූරීන්ගේ ගමන්මගේ නව පෙරළියකට මඟ විවර විය. අශෝක පැල්පොල මහතාගේ මිත්‍රයකු වූ රත්නපුර අධ්‍යාපන කලාපයේ විශ්‍රාමික ගුරු උපදේශක සහ ගුරු අධ්‍යාපනඥ කථිකාචාර්ය ජී. ආර්. නන්දසිරි මහතා ගුණදාස සූරීන් පිළිබඳව විශේෂ ඇගයීමක් කර තිබිණි.

“නිරහංකාර කලාකාරයෙක් ලෙසත් මුදල් වෙනුවෙන් කලාව නොවිකිණූ බවත්, නිතරම ජන සමාජයට වටිනා පණිවිඩයක් ලබාදීමට කටයුතු කළ අයකු ලෙසත් සභාවක් ඉදිරියේ ගුණදාස සහ රබාන දැවැන්ත පෞරුෂයක් නිරූපණය කරමින් මේ රටට සේවයක් කළ අහිංසක මිනිසකු ලෙස අගය කරන බවත් කථිකාචාර්ය නන්දසිරි මහතාගේ අදහසයි.

විශේෂයෙන් රත්නපුරේ ජනතාව සුවිශේෂී කලා හැකියා ඇති අයට එම අවස්ථාවන්ට වේදිකාවක් සැකසීමට පසුබට නොවනු ඇත. ගුණදාස සූරීන්ට මෙන්ම අපේ රටේ ගීත කලාවේ සුවිශේෂී චරිතයක් වන කලාසූරී අල්හාජ් මොහිදින් බෙග් කලාකරුවාට ද සහයෝගය ලබාදුන් අවස්ථා රත්නපුරේ ජනතාව හොඳින් දනිති.

නූතන වාණිජවාදී ආත්මාර්ථය රජයන සමාජ ක්‍රමය තුළ විරිදු ගායන ශිල්පී ගුණදාස සූරීන් යනු තවත් එක් පුද්ගලයකු පමණකි. ඉන්දියාවෙන් පකිස්තානය වෙන්වූ අවස්ථාවේ එවකට සිටි ජනාධිපතිතුමා පවසා සිටියේ ඉන්දියාවෙන් පකිස්තානය දෙකඩ වුවත් ඉන්දියානු මහා ගායිකා ලතා මංගේෂ්කාර් ඉන්දියාවට අයිති වීමම සතුටට කරුණක් බවයි. එයින් පැහැදිලි වන්නේ කලාකරුවාට රාජ්‍ය මට්ටමින් තිබූ ඇගැයීමයි. ලංකාවේ ද අතීතයේ එවැනි ඇගයීමක් තිබූ බව ඉන්දියානු ජාතික මොහිදින් බෙග් කලාකරුවාට ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ගීතය වෙනුවෙන් අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා විසින් පුරවැසිභාවය ලබාදීම දැක්විය හැකිය. එහෙත් ගුණදාස මහතාගේ අභාවය මාධ්‍ය තුළින්වත් ප්‍රචාරය නොවූ බව එතුමාගේ දියණිය පවසයි. උපහාර ලැබිය යුතු පුද්ගලයන්ට උපහාර නොලැබීම රටේ අභාග්‍යයකි.

ලිපිය ලියන මා ගුරුවරයකු වශයෙන් පන්ති කාමරයේදී වැඩිහිටි ශිෂ්‍යයන්ගෙන් ගුණදාස සූරීන්ගේ අභාවය පිළිබඳව දන්නේ දැයි විමසූ විට පෙනී ගියේ එවැනි අයකු මේ රටේ සිටියේ දැයි ළමයින් නොදන්නා බවයි. හරසුන් මාධ්‍ය ජාලාවල පැටළී සිටින ජනයා, අතීත දැනුම් පද්ධති හා නූතන දැනුම් පද්ධති පරිශීලනය කෙරෙහි යොමුවීමක් නැති බව ප්‍රවීණ විද්වතුන්ගේ මතය වී තිබේ.

පාසල් ගුරුවරුන් වන අපට ඒ බව හොඳින් දැනේ. “අධ්‍යාපනය ජීවිතය සඳහාය.” යන දර්ශනය දරුවන්, දෙමාපියන් හා ගුරු අධ්‍යාපන බලධාරීන් කෙරෙන් ගිලිහෙන බවක් දැනේ. එය කනගාටුවට කරුණකි. මේ රටේ මෑත යුගයේ අධ්‍යාපනය පිළිබඳ දැවැන්ත ගැටුම චරිතායන අධ්‍යාපනය පිළිබඳ ගැටුමයි යන්න සමාජ විද්‍යා මතයයි.

බෞද්ධ දර්ශනයට අනුව උතුම්ම දානය ධර්ම දානයයි. එම දානය හෘදයාංගම ලෙස තම කලා හැකියාවෙන් ඉදිරිපත් කළ සංවේදී ශිල්පියකු ලෙස ජන හදවත් තුළ එම්. වී. ගුණදාස නාමය සදා රැඳෙනු ඇත.

කවියක් තුළින් ධර්මය විග්‍රහ කරන
උතුමෙකි ලක් දෙරණෙ එම්.වී ගුණදාස
ලක් මෑණියන් ඔබ හට දෙයි උපහාර
පතනෙමි අමා මහ නිවනින් සැනසීම

ඒ. ඒ. සුජිත් පාලිත අමරකෝන්
ර/නවනගර කුමර විද්‍යාලය,
රත්නපුර

advertistmentadvertistment
advertistmentadvertistment