මුද්‍රිත මාධ්‍ය රැකගන්න අමුද්‍රව්‍ය ගෙන්වනවා – අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ

130

මුද්‍රිත මාධ්‍ය රැකගැනීම සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වහාම ගෙන්වා ගැනීම පිණිස මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තමා යෝජනාවන් ඉදිරිපත් කරන බව අධිකරණ සහ බන්ධනාගාර පුනරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ‘දිවයින’ට සඳහන් කළේය.

ලැබී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අනුව මුද්‍රිත මාධ්‍ය එදා මෙන් අදත් ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය වී තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

විද්‍යුත් මාධ්‍ය මගින් දිනපතා පළවෙන මුද්‍රිත මාධ්‍යවල තොරතුරු ඉදිරිපත් කිරීමේදී එම වැඩසටහන් නැරඹීමට විශාල පිරිසක් දැඩි කැමැත්තක් දක්වන්නේ මෙම පත්තරවලට ජනතා කැමැත්ත නිසා බව නො රහසක් බව ද ඇමැතිවරයා පැවසීය.

මේ අනුව කාලාන්තරයක් තිස්සේ ජනතාවගේ දැඩි කැමැත්ත දිනාගෙන සිටින මුද්‍රිත මාධ්‍ය රටේ උද්ගත වී තිබෙන තත්ත්වය අනුව අඩපණ කිරීමට ඉඩ නොදෙන බව ද හෙතෙම සඳහන් කළේය.

මුද්‍රිත මාධ්‍ය නතර වුවහොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක් විය හැකි යැයි ද ඇමැතිවරයා කීවේය.

මේ අනුව මුද්‍රිත මාධ්‍යයට අවශ්‍ය අමුද්‍රව්‍ය වහාම ගෙන්වා ගැනීමට ක්‍රියා කළ යුතු බව තමාට හැඟී ගිය නිසා ඒ පිළිබඳව ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමේ දී යෝජනාවක් ඉදිරිපත් කරන අතර ඊට එරෙහි වෙන කිසිවක් නැතැයි ද කීවේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment