ලොකු ලූනු සම්පූර්ණයෙන්ම පිටරටින් ගේන්න වෙයි – ගොවීහු කියති

480

බීජ හිඟය හා රසායනික පොහොර හිඟය හේතුවෙන් නව වසරේ දී මෙරට ලොකු ලූනු අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ආනයනය කිරීමට සිදුවන බව ගොවීහු පවසති.

ගොවීහු මේ වන විට දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදනය අතහැර දමා සිටිති.

වාර්ෂික දේශීය ලොකු ලූනු අවශ්‍යතාවය මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ පනස්දහසකි. ඒක පුද්ගල වාර්ෂික ලොකු ලූනු පරිභෝජනය කිලෝ ග‍්‍රෑම්ස් දහයකි. ආනයනික ලොකු ලූනු, දේශීය ලොකු ලූනු මෙන් ගුණාත්මක තත්ත්වයක නොපවතින බවද ගොවීහු සඳහන් කරති.

2013 සහ 2014 දෙවසරවල දේශීය ලොකු ලූනු වගාවෙන් රටේ අවශ්‍යතාවයෙන් සියයට 65ක් නිෂ්පාදනය කර තිබේ. රාජ්‍ය සහ කෘෂි බලධාරීන්ගේ මැදිහත් නොවීමෙන් 2015 වසරේ සිට වගාව ක‍්‍රමක‍්‍රමයෙන් කඩා වැටුණු බවත් වසරක දී අවම වශයෙන් ගොවීන් 12000ක් හෙක්ටයාර් 7000ක ලොකු ලූනු වගා කළ බවත් ඔවුහු පවසති. 2021 වසරේදී හෙක්ටයාර් 2000ක් පමණ දක්වා වගාව පහළ ගොස් තිබේ.

දේශීය ලොකු ලූනු බීජ අක්කරයක වගාවෙන් කිලෝ ග‍්‍රෑම් 12000ක අවම අස්වැන්නක් නෙළා ගන්නා බව පවසන ගොවීහු ආනයනික බීජ අක්කරයක වගාවෙන් ලබාගත හැක්කේ කිලෝ ග‍්‍රෑම් 7000 ක උපරිම අස්වැන්නක් බව ද පවසති.

දේශීය ලොකු ලූනු වගාව පිළිබඳව කළ විමසීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවැසුවේ නව වසරේදී ලොකු ලූනු අවශ්‍යතාව ආනයනය කිරීමට සිදුවනු ඇති බවත් ඩොලර් හිඟය හේතුවෙන් රටේ ලොකු ලූනු හිඟයක් ඇති විය හැකි බවත්ය.

මාතලේ විශේෂ නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment