ලෝක බොක්සිං සභාපති සහ හෙවිවේට් ශූරයා පැමිණෙති

470

උමර් සහ රෝයි ගුවන් තොටුපළේදී බොක්සිං රංගනයක නිරත වෙමින්

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණීම සනිටුහන් කරමින්, ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති උමාර් ක්‍රෙම්ලීව් මහතා ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයක් සඳහා පෙරේදා (16 වැනිදා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය.

ඔහු සමග එම මහත්මියත්, ලෝක හෙවිවේට් බොක්සිං ශූර, 1988 සියොල් ඔලිම්පික් තරගාවලියේ රන් පදක්කම දිනූ රෝයි ජෝන්ස් ජූනියර් මහතා ද ඒ සමග පැමිණියහ. ජර්මනියේ වත්මන් ෆ්ලයිවේට් බොක්සිං ශූරියත් ඒ අතර වූවාය. එමෙන්ම ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ද ඔවුන් සමග පැමිණ සිටියේය.

ඔවුහු ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති උමාර් ක්‍රෙම්ලීව් මහතාට අයත්, ඔහුගේ පෞද්ගලික ජෙට් ගුවන් යානයක් වන (එම්.ඒ.කේ.කේ.යූ.) දරන විශේෂ ගුවන් යානයෙන් පෙරේදා රාත්‍රී 06.25 සිට තායිලන්තයේ පුකෙට් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී. කේ. ජී. කපිල
පිංතූරය – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment