වත්මන් දේශපාලන  අර්බුදය සාකච්ඡාවට ජාජබ සහ පෙරටුගාමී එක්වෙති

357

පවතින දේශපාලන අර්බුදය සහ අරගලකරුවන් මර්දනය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර සාකච්ඡාවක් පෙරේදා (31 වැනිදා) රාත්‍රියේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදුව ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජාතික ජනබලවේගයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව සිදුව ඇති අතර එහිදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, විසිඑක් වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ, ආණ්ඩුව සැලසුම් සහගතව අරගලකරුවන් මර්දනය කිරීම යන කරුණු රැසක් සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා කර තිබේ. මෙම අවස්ථාව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ආචාර්ය හරිනි අමරසූරිය, කේ.ඩී.ලාල්කාන්ත, ආචාර්ය අරුණ කරුණාතිලක, මහින්ද රත්නායක, පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් පුබුදු ජයගොඩ, චමීර කොස්වත්ත සහ චන්දන සිරිමල්වත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එම සාකච්ඡාව අවසානයේ ජාතික ජන බලවේගයේ කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ මීට පෙරද ආපදා අවස්ථාවන්හි මෙවැනිම සාකච්ඡා පවත්වා ඇති බවත් මෙහිදී දෙපාර්ශ්වයේ ද පොදු අවබෝධයක් ඇති කර ගැනීමට හැකි වූ බවත්ය. එම පොදු අවබෝධය ඉදිරි දේශපාලන වෙනස්වීම් මත භාවිතාවට ගත හැකි බවත් හෙතෙම කීවේය.

මෙහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ සිය පක්ෂය විපක්ෂයේ පක්ෂ ගණනාවක් සමඟ සිදු කෙරෙන සාකච්ඡාවන්ට අනුව මෙම හමුව සිදු වූ බවත් එහිදී පවතින දේශපාලන වාතාවරණය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්ය. ඉදිරි සාකච්ඡා අවශ්‍යතා සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment