වැඩි මාස අවුලෙන් කතරගම දේවාලයේ නරක එළියට

772

බැතිමතුන් දෙන දේ බෙදාගෙන කන අයට හොඳත් බදාගෙන කන අයට නරකත් දෙවියො විසින්ම ලබාදෙයි…

කපු මහත්වරු සහ බස්නායක නිලමේවරයා අතර පවතින මේ ගැටුමත් නීතිඥයන් පෝසත් කිරීමක්…

කතරගමට බැතිමතුන් නොපැමිණි කල ප්‍රදේශවාසීන් සාගින්නේ…

ඇසළ පෙරහැර මංගල්‍යයෙන් පසුව එළැඹෙන අගෝස්තුව කතරගම දේවාලයට අසුබ මාසයකි. කපු මහත්වරු සහ බස්නායක නිලමේවරයා අතර අළු යට ගිනි මෙන් පවතින විරසක ඇවිළෙන මාසයකි. කතරගම දේවාලයේ කපු මහත්වරු සහ හිටපු බස්නායක නිලමේ ඩී. පී. කුමාරගේ මහතා අතර පැවැති ආරවුල ගුටි කෙළියක් දක්වා දිග්ගැසුණේ ද 2017 වර්ෂයේ අගෝස්තු මස 08 වැනිදාය. වර්තමාන බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සහ කපු මහත්වරු අතර පවතින විරසකය ද කරළියට පැමිණියේ පසුගිය මාසයේදීය. කතරගම දේවාලයේ අගෝස්තු අරගලයේ ගිනි පුපුරු බුර, බුරා දැල්වෙන්න පටන් ගන්නේ ‘වැඩි මාස’ බෙදාගැනීමේදී ඇති වෙන අවුලත් සමඟය.

කතරගම දේව පුරාණයේ ආරම්භයේ සිට දේවාලයේ රාජකාරි කටයුතු සඳහා ගෙවැදී සිටින කපුමහත්වරුන්ට බස්නායක නිලමේවරයා විසින් තුණ්ඩු ඇදීමකින් පසු මාස බෙදා දෙනු ලැබේ. එක් කපු මහත්මයකුට එක් මාසය බැගින් බෙදා දී ඉතිරි මාස ‘වැඩි මාස’ ලෙස බස්නායක නිලමේ භාරයේ තබා ගැනේ. එම වැඩි මාස බස්නායක නිලමේවරයාගේ සිතැඟි පරිදි කපුමහත්වරුන්ට බෙදා දෙනු ලැබේ. එම මාසයේදී ලැබෙන සම්පූර්ණ තුටු පඬුරුවලින් පංගුවක් කථිකා කරගත් ආකාරයට මාසය භාර කපු මහතා විසින් බස්නායක නිලමේවරයාට ලබාදෙනු ලැබේ. දේශපාලන බලය සහිතව සිටි හිටපු බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ කාලයේදී වැඩි මාස කිසිදු මතභේදයකින් තොරව ඔහුගේ සිතැඟි පරිදි කපුමහත්වරුන්ට බෙදා දුන්නේය. එවකට කතරගම දේවාලයේ ගෙවැදුණු කපුමහත්වරු සිටියේ පස්දෙනෙක් පමණි. මාස හතක් වැඩි විය. එහෙත් වැඩි මාස බෙදාගැනීමේදී බස්නායක නිලමේ සහ කපුමහත්වරු අතර ගැටුම් නොවිණි.

ශෂීන්ද්‍ර රාජපක්‍ෂගෙන් පසු කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා බවට ඡන්දයෙන් තේරී පත් වූ ඩී. පී. කුමාරගේට දේශපාලන හයිය නොතිබිණි. එහෙයින් කපුමහත්වරුන්ගේ බලය වැඩි විය. වැඩි මාස ඉල්ලා කපුමහත්වරු පොරකෑහ. අවසානයේ කුමාරගේ නිලමේ විසින් කතරගම දේවාලයට තවත් කපු මහත්වරු පස්දෙනෙක් ගෙවද්දමින් වැඩි මාස පහක් ඔවුන්ට බෙදා දී මාස භාරව දේව රාජකාරිය කරන සෑම කපුමහත්මයකු විසින් එකී මාසය අවසානයේදී මාසය පුරා ලැබුණු තුටු පඬුරුවලින් රුපියල් ලක්‍ෂ විස්සක් බස්නායක නිලමේ කාර්යාලයට ලබාදෙන ලෙසට කපුමහත්වරු සමඟ ගිවිසුම්ගත විය. එම ගිවිසුම්ගතවීම සිදු වූයේ එවකට සිටි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සහ බුද්ධ ශාසන අමාත්‍යවරයා ඉදිරියේදීය. තවත් වැඩි මාස දෙකක් ඉතිරි විය. එම මාස දෙකෙන් එකකින් ලැබෙන සම්පූර්ණ ආදායම ඇසළ පෙරහැර මංගල්‍යයේ වියදම් පියවාගැනීම සඳහා වෙන් කර තිබිණි. කතරගම පෙරහැර මංගල්‍යය පැවැත්වෙන ඇසළ මාසය බස්නායක නිලමේවරයාට අයත් මාසයක් ලෙස ඉතිහාසයේ සිට පැවතුන බව ද වාර්තා වේ. එමෙන්ම මේ දිනවල කතරගම දේවාලයේ අකටයුතුකම් සම්බන්ධයෙන් ජාතික පුවත්පත්වල ප්‍රවෘත්ති පළවෙන, සමාජ මාධ්‍යයේ විවිධ පුවත් මැවෙන පසුබිමක අපි කතරගමට ගියෙමු. කතරගම දේවාලයේ වර්තමාන බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා හමු වී දේවාලයේ ගැටලුකාරී තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට උත්සාහ කළෙමු. එහෙත් නිලමේවරයා ගැටලු ගැන කතා නොකර බැතිමතුන්ට ආදර්ශවත් කතාවක් කළේය. මේ ඒ කතාවය.

“කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා තේරී පත්වෙන්නේ ඡන්දයකින්. එම ඡන්දයට සුදුසුකම් ලබන්නේ කතරගම කිරිවෙහෙර විහාරාධිපති, අභිනවාරාම විහාරස්ථානයේ නායක හිමි, වැඩසිටිකන්ද විහාරයේ නායක හිමි, සෙල්ල කතරගම මහසෙන් රජමහා විහාරයේ විහාරාධිපති, කොටබෝව දේවාලයේ නිලමේ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු එකළොස්දෙනා. ඡන්දයකින් තේරී පත්වන කතරගම දේවාලයේ බස්නායක නිලමේ රජය විසින් පත් කරන ලද තනතුරක්. බස්නායක නිලමේවරයාගේ රාජකාරිය කතරගම දේවාලයේ පරිපාලන කටයුතු කරගෙන යෑම. ඒක භාරදූර රාජකාරියක්. දේවාලයේ නඩත්තු කටයුතු, සංවර්ධන කටයුතු, වාර්ෂික පෙරහැර මංගල්‍ය තුනක් පැවැත්වීම, දේවාලයට අයිති ඉඩකඩම් පරිපාලනය කිරීම, අලි ඇතුන් නඩත්තු කිරීම, ආලත්ති අම්මාවරුන්ට, අනෙකුත් සේවකයන්ට මාසික වේතන ගෙවීම ඇතුළු විශාල සේවාවක් බස්නායක නිලමේ කාර්යාලයෙන් සිද්ධ වෙනවා. ඒ සියලු කාර්යන්ට වඩා මගේ ප්‍රධාන කාර්යභාර්ය වෙලා තියෙන්නෙ පින්දහම් කොට කතරගම දෙවියන්ට අනුමෝදන් කිරීම. විශේෂයෙන්ම බස්නායක නිලමේවරයා විදිහට මගේ වගකීම පඬුරු පෙට්ටිවලට ලැබෙන මුදල්වලින් පින්කම් කොට ඒ පින දෙවි හාමුදුරුවන්ට අනුමෝදන් කිරීමත්, පඬුරු පෙට්ටිවලට ආධාර කළ බැතිමතුන්ට දෙවිහාමුදුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කිරීමයි. කතරගම දෙවියන්ගේ පිහිට, ආශීර්වාදය ප්‍රාර්ථනා කරගෙන එන බැතිමතුන් කරන්න ඕනෙත් දෙවි හාමුදුරුවන්ට රන්, රිදී, මුතු, මැණික් පූජා කිරීම නෙමෙයි, පින්දහම් කොට ඒ පින් කතරගම දෙවිහාමුදුරුවන් ඉදිරියට පැමිණ අනුමෝදම් කිරීම. මහ ලොකු පින්කම් නෙමෙයි. කන්න නැති පවුලකට වියළි ආහාර මල්ලක් පරිත්‍යාග කරලා ඇවිත් ඒ පින දෙවිහාමුදුරුවන්ට අනුමෝදම් කරන්න. කිරිවෙහෙර, අෂ්ටඵල බෝධීන් වහන්සේ වන්දනා කර රැස් කරගත් පින් කතරගම දෙවි හාමුදුරුවන්ට අනුමෝදම් කරන්න. උන්වහන්සේ අප්‍රමාණ සතුටට පත් වෙයි. දේවාලයේ නඩත්තු කටයුතු, සංවර්ධන කටයුතු, පෙරහැර මංගල්‍යයන් පැවැත්වීමට ඉඩකඩම්වලින් ලැබෙන ආදායම, බැතිමතුන් විසින් ප්‍රධාන කාර්යාලයට ලබාදෙන පරිත්‍යාග හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම දේවාලයේ නොවිය යුතු බොහෝ දේවල් වෙනවා. ඒ අඩුපාඩු පෙන්නා දෙන්න ගිහාම සමහර කපු මහත්වරු අපිත් එක්ක විරසක වෙනවා. මම ඒවා ගැන හිතන්නේ නෑ. මට ඕන කතරගම දේවාලය පරිශුද්ධ සිද්ධාස්ථානයක් බවට පත් කරන්න. ඒ සඳහා මට කරන්න පුළුවන් උපරිමය කරනවා…” කතරගම දේවාලයේ වර්තමාන බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ ප්‍රාර්ථනාව යහපත්ය.

වැඩි මාස අවුලෙන් කතරගම දේවාලයේ නරක එළියට

අපි කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරය හොබවන සොමිපාල ටී. රත්නායක මහතා හමුවට ගියෙමු. මේ පෙළගැසෙන්නේ කතරගම දේවාලයේ වර්තමාන තත්ත්වය ගැන සොමිපාල ටී. රත්නායක කපු මහතා කියන කතාවය. “කාලයක ඉඳලා බස්නායක නිලමේවරු වැඩි මාස ලක්‍ෂ ගානකට වෙන්දේසි කරනවා. ඒක තමයි මෙතැන තියෙන එකම ගැටලුව. වෙන කිසිම ගැටලුවක් නෑ. අපි දේවාලය හොඳට කරගෙන යනවා. මුරුතැන් බලන කපු මහත්වරු මාසය අවසානයේ බස්නායක නිලමේ කාර්යාලයට රුපියල් ලක්‍ෂ විස්සක් ලබාදෙනවා. කොරෝනා කාලේ නම් ඒක ගෙවන්න බැරි වුණා. ඊට පස්සෙ ආර්ථික අර්බුදයෙන් මුළු රටම නන්නත්තාර වුණා. එවැනි පසුබිමක තමයි රුපියල් කෝටි දොළහක් කපුමහත්වරුන්ගේ සාක්කුවට කියලා පත්තරවල පළ වෙන්නෙ. රත්තරං අරගෙන ගියා කියලා තවත් ප්‍රවෘත්තියක් පළ කරලා තිබුණා. ඒ මුදල්, රත්තරං කවුද දුන්නෙ… කවුද ගණන් බැලුවේ… රත්තරං දෙනවා දැක්කෙ කවුද? ඒවා ගැන කිසිම සඳහන් නෑ. පාළු ගෙදර වළං බිඳීමක්…”

බැතිමතුන් කතරගම දේවාලයට පූජා කරන රන්, රිදී, මුතු, මැණික්වලට මොකද වෙන්නෙ… සොමිපාල කපු මහතාගේ කතාවට මම බාධා කළෙමි.

“ඒවා ගැන අපි හොයන්නෙ නෑ. ඩොනේෂන් ලැබෙනවා. එක දවසට මුරුතැන් පූජා හය, හතකට මුදල් ලැබෙනවා. බඩු භාණ්ඩ ලැබෙනවා. ඒවා ගැන අපි හොයන්නෙ නෑ. අපිට අයිති නෑ. අපේ රාජකාරිය ඇතුල් මාළිගාවේ පුද පූජා පැවැත්වීම, මංගල උත්සව පැවැත්වීම, දිනපතා පුද පූජා පැවැත්වීම. ඒ වෙනුවෙන් අපිට බැතිමතුන් තුටු පඬුරු ලබාදෙනවා. දේවාලය ඉදිරිපිට තියෙන ‘රම් බණ්ඩෙ’ (රත්තරං බන්දේසිය) ට වැටෙන මුදල් තුටු පඬුරු විදිහට අපට අයිතියි. පඬුරු පෙට්ටිවලට වැටෙන පුද පඬුරු ගැන අපි හොයන්නෙ නෑ. බස්නායක නිලමේවරුත් අපේ දේවල්වලට ඇඟිලි ගහන්නෙ නැතිව ඒ අයගේ වැඩක් බලාගෙන ඉන්නවා නම් මේ කිසිම ගැටලුවක් ඇති වෙන්නෙ නෑ. ඒ වගේම දේවාලේ පෞරාණික පුද සිරිත් වෙනස් කරන්න කාටවත් අපි ඉඩ දෙන්නෙත් නෑ…”

‘කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යයන් තුනට කපුමහත්වරු දක්වන දායකත්වය…’ මම නැවත කෙටි පැනයක් යොමු කළෙමි.

“අපි තමයි පෙරහැර මංගල්‍ය පවත්වන්නේ. බස්නායක නිලමේට ඇඳගෙන පෙරහැරේ යන්න පුළුවන්. ඒ වගේම කතරගම දේවාලය බොහෝ චාරිත්‍ර, විදි විධාන තිබුණු තැනක්. දැන් ඒවා ගොඩක්ම නැති වෙලා තියෙනවා. කතරගම පෞරාණිකත්වය සම්පූර්ණයෙන්ම වනසලා…” සොමිපාල කපු මහතා කතරගම දේවාලයේ චාරිත්‍ර පුද සිරිත් ගැන කතා කරන විට මගේ මනසෙ පැනයක් ඇඳිණි.

බැතිමතුන් රැගෙන එන පලතුරු වට්ටි දේවාලය තුළට ගන්නෙ නෑ…?

“පලතුරු කපලා ගේන පූජා පිරිසිදු නෑ. පලතුරුවල සුවඳ ගිහින්. එහෙම වුණාම දෙවියො ආඝ්‍රාණය කරන්නෙ නෑ. ඒත් අපි දෙවියන්ට කැප කරලා නැවත බැතිමතුන්ට දෙනවා. වැදගත් හොඳ ගෙඩි පූජා දේවාලය ඇතුළට අරගෙන පලතුරු කපනවා. ඒ පලතුරු සුවඳ දෙවියො ආඝ්‍රාණය කරනවා. ඒ තුළින් උන්වහන්සේ සතුටට පත්වෙනවා…”

දැන් කපුමහත්වරු දේවාලයට පැමිණෙන බැතිමතුන්ට සෙත් ප්‍රාර්ථනා කරන බවක් පෙන්න නෑ…?

“මුරුතැන් පූජාව පවත්වලා සතර දිග්භාගයෙන් පැමිණ පුද පූජා පවත්වන බැතිමතුන්ට ශාන්තියක්, සැපතක් උදා වේවා කියා පොදුවේ අපි ප්‍රාර්ථනා කරනවා. ඒ හොඳටම ප්‍රමාණවත්. ඒක කතරගම දෙවියන්ගේ නියමයක්. ඒ වගේම කතරගම දේවාලය පවත්වාගෙන යන්නෙ අපිවත්, බස්නායක නිලමේවරයාවත් නෙමෙයි, බැතිමතුන්. දෙවියන්ට පුද සත්කාර සිද්ධ කිරීමට අවශ්‍ය පහන් තිරයේ ඉඳලා සියලු දෑ ලබාදෙන්නේ බැතිමතුන්. අපිට තියෙන්නෙ පිරිසිදුව පූජාව, පෙරහැර මංගල්‍ය පැවැත්වීම විතරයි…” සොමිපාල ටී. රත්නායක කපු මහතා පැවසූ ඒ කතාව ප්‍රදේශයේ නායක හිමියන් ද පැවසූහ.

පෙළගැසෙන කතාවට අදහස් දැක්වූ කතරගම නායක හිමිවරු නම් අන්තර්ගත කරනවාට අකැමැති වූහ. එහෙයින් උන්වහන්සේගේ නම් හෙළිදරව් කිරීමෙන් අපි වැළකී සිටින්නෙමු. පෙළගැසෙන කතාව නැවත කියවන විට යක්කඩුවේ පක්‍ද්ක්‍දාරාම නායක හාමුදුරුවො දේශනා කළ කවියක් මගේ මතකයට නැඟිණි.

ආපයට යන්න ඕනෑ නම් නුඹට
මහ මැතිකම කරපං එක දවසකට
නැති නම් දේවාලයක හෝ පන්සලක සිට
අධිපතිකම කරපං තුන් දවසකට

පොදු දේපළ තම සුඛ විහරණය උදෙසා පරිහරණය කරන රටේ නායකයාගේ සිට පහළ මැති, ඇමැතිවරු, නිලධාරීන් සහ දේවාලයක කපු පදවි, බස්නායක නිලමේ පදවි දරන ගිහියන්ට මෙන්ම විහාරස්ථානවල විහාරාධිපති හිමියන්ට එම කවියෙන් යමක් අවබෝධ වේ නම්, විශේෂයෙන්ම කතරගම දේවාලය ඇතුළු මෙරට සිද්ධස්ථානවලට ලැබෙන තුටු පඬුරු සහ පුද පඬුරු බදාගෙන කන ගිහි, පැවිදි දෙපාර්ශ්වයට යමක් අවබෝධ වේ නම් ඒ මහා පුණ්‍යකර්මයකි. පෙළගැසෙන කතාවට ඊට වඩා අඩු වැඩි එකතු කිරීමට අප අකැමැතිය. ඒ දේව උදහසට නොව රාජකාරිකරුවන්ගේ උදහසට ලක් වී නැති පටලැවිලි ඇති කරගැනීමට අකැමැති නිසාය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment