වැඩේ අල වීමට නියමිතය

982

විදුලි ගාස්තුව නැවත ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව ලබන 18 වැනිදා සිට දින 21 ක කාලයක් තුළ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයට ගොස් මේ ගැන අදහස් ලබා දීමට ජනතාවට පුළුවන. විදුලි ගාස්තුව 22% කින් වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය ඉල්ලා තිබේ. සමහර විට ඊශ්‍රායල – පලස්තීන යුද්ධය වඩාත් දරුණු අතට හැරී මහ බලවතුන් ඒ රටවල් දෙකට වෙන වෙනම සහයෝගය පළකරන්නට පටන් ගතහොත් අපට කාර්වලට දමන්නට වන්නේ ද ඛනිජ තෙල් නොව පොල්තෙල්, කොහොඹ තෙල් සහ බෙහෙත් තෙල් යනාදිය ය. මීට පෙර අවස්ථාවලදී විදුලිබිල ඉහළ දැමීමට මණ්ඩලය විසින් ඉල්ලන ලද කල්හි එවකට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිව සිටි ජනක රත්නායක අප්‍රමාණ නාඩගමක් නැටුවේය. ඒ

නාඩගමින් මහජනතාවටත්, රටටත් ජනක රත්නායකටත් යන පාර්ශ්ව තුනටම සත පහක වැඩක් වුණේ නැත. අන්තිමේදී ජනක රත්නායක තනතුරෙන් නෙරපන ලදුව දැනට හේබාගොස් නිහඬ ප්‍රතිපත්තියක සිටින බව පෙනෙන්නට තිබේ. රත්නායක මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිව සිටිමින් රාජ්‍යය අවුළුවන ප්‍රකාශ කරන කාලයේදී සිටි මාධ්‍යකරුවන් කිසිවෙක් අද ඔහු සමඟ නැත. මෙය මේ රටේ දේශපාලනඥයන් සහ දේශපාලනඥයන් වීමට තැත් කරන සියලුම දෙනා විසින් අවබෝධ කරගත යුතු තත්ත්වයකි.

කවුරු කොහොම කිව්වත් මේ ලෝකය භ්‍රමණය වන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ නීති රීතිවලට අනුව නොව තෙල් සහ විදුලිබලය නිසා ය. මේ නිසා විදුලිය නිපදවීමට මූලික වන ඛනිජ තෙල් නිපදවන රටවල් පෘථිවිය භ්‍රමණය වීම පිළිබඳ තීරකයා බවට පත්ව සිටී. ඔපෙක් සංවිධානය තෙල් මිල ඉහළ දැමූ සැණින් අපේ ලයිට් පැයකට හෝ දෙකකට කැපෙයි. ලංකාවේ ජල විදුලි බලාගාරවල නිපදවන විදුලිය රටේ වැඩ කටයුතු සඳහා අද කිසිසේත් ම ප්‍රමාණවත් වන්නේ නැත. මීට අවුරුදු 50 කට පෙර මේ රට ඉතා සරල ගැමි රාජ්‍යයක්ව තිබූ වකවානුවේදී ලක්‍ෂපාන විදුලි බලාගාරය මගින් නිපදවන කරන්ට් එක රටේ වැඩ කටයුතු සඳහා ඕනෑවටත් වඩා ප්‍රමාණවත් විය. එදා විදුලිබල පහසුකම් තිබුණේ නගරවලට පමණි. විශාල නගර ආසන්නයේ ගම් තිබෙන විට එම ගම්වලට ද විදුලිබලය ලැබිණ. පිටිසරබද ගම්මානවල හංදියේ කඩවලට පමණක් ලයිට් තිබිණ. මීට අමතරව හංදියට යාබදව පිහිටි ප්‍රභූ ගෙවල් දෙක තුනකටත් ලයිට් තිබිණ. ඒ හැරෙන්නට ගම්වල සිටි සියලු දෙනා රාත්‍රි කාලයේදී ආලෝකය ලබා ගත්තේ භූමිතෙල් ලාම්පු පත්තු කිරීමෙනි. යම් තරමකට මිල මුදල් ඇති ගෙවල්වල පෙට්‍රොමැක්ස් වෙළෙඳ ලකුණ යටතේ නිපදවන ලද භූමිතෙල් පීඩන ලාම්පු තිබිණ. මේවා 100 බල්බ් එකකින් දෙන එළියට වඩා ආලෝකවත් ය. කිසිදු ගැමි ගෙදරක ශීතකරණයක් තිබුණේ නැත. ඉලෙක්ටි්‍රක් අයන් සහ ටීවී ගැන ජනයා ආරංචි මාත්‍රයෙන් දැන සිටියහ. රයිස් කුකර්, බ්ලෙන්ඩර්, මයික්‍රෝවේව් අවන් යනාදිය ගැන කිසි කෙනෙක් දැන සිටියේ නැත. ඒ නිසා විදුලි බලයට විශාල ඉල්ලුමක් නොතිබූ හෙයින් විදුලි යුනිට් එකක් ශත ගණනක් පමණක් විය. එහෙත් 1977 දී ශ්‍රී ලංකාව ලෝකයට විවෘත වීමෙන් පසු සුනාමිය ගොඩට ආවාක් මෙන් විදුලි බඩු තොගයක් රට තුළට වීසිවිය. මේ රටේ විදුලි බල පරිභෝජනය 1970 තිබුණාට වඩා 500 ගුණයකින් පමණ 1979 වන විට වැඩි විය. එහෙත් ලක්‍ෂපාන ජලවිදුලි බලාගාරයෙන් රන්එක දිය හැකි විය. ඒ අතර තවත් විදුලිබලාගාර එකක් හෝ දෙකක් පිහිටුවන ලදුව ඒවායේ සහාය ද ජාතික විදුලි සැපයුමට ලැබිණ. 1980 වන විට කැලණිතිස්ස ඉන්ධන විදුලිබලාගාරය ටික ටික කැරකෙන්නට පටන් ගත්තේය. 1990 වන විට නාගරිකයේ හැම ගෙදරකම පාහේ ටීවී, ෆ්‍රිජ්, ෆෑන් සහ බ්ලෙන්ඩර් තිබුණු බැවින් කැලණිතිස්ස බලාගාරයත් මදිවන තැනක් පැමිණියේය. 1994 බලයට පත් වූ ආණ්ඩුව මගින් ප්‍රංශයේ ෆියට් කොම්පැනියෙන් අති විශාල අලුත් ජෙනරේටර් කිහිපයක් ගෙන්වා කැලණිතිස්ස බලාගාරය අප්ඩේට් කරන ලදී. මේ ජෙනරේටර් කෙතරම් විශාල වීද යත්, ඒවා කැලණි පාලම දිගේ ප්‍රවාහනය කිරීමට බැරි විය. එයට හේතුව ජෙනරේටර්වල බරට පාලම කඩා වැටීමේ අවදානමක් තිබීමය. මේ නිසා විශාල යාත්‍රාවල බහා මේ ජෙනරේටර් කැලණි ගඟෙන් එගොඩට ගෙනයන ලදී. එහෙත් අපේ විදුලි සැපයුම ප්‍රමාණවත් නොවී ය. මේ සියලු කාරණා අස්සේ විදුලිබල මණ්ඩලය කෙතරම් පාඩු ලැබූවද, ලයිට් බිල වැඩිවූයේ නැත. ක්‍රි. ව. 2000 දී අපේ රටේ ලයිට්බිල තිබුණේ දැරිය හැකි තැනක ය. එහෙත් 2022 වන විට විදුලිබල මණ්ඩලය අධික පාඩු ලැබීම නිසා නන්නත්තාර වෙමින් තිබිණ. එම මණ්ඩලය සතු ඉන්ධන විදුලි බලාගාරවලට ණයට තෙල් නොදෙන තැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තල්ලු විය. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ මීට මාස කීපයකට පෙර ඉතා භයානක ලෙස විදුලි බිල ඉහළ දැමීම ය. විදුලි බලය පරිහරණය වීම අවම කර ගැනීම සඳහා ගෘහස්ථ විදුලි භාණ්ඩ සඳහා ඉන්වර්ටර් තාක්‍ෂණය ද, LED බල්බ් ද හඳුන්වා දෙන ලදී. එහෙත් මේ කිසිම දෙයකින් කිසිම වැඩක් වී ඇති බවක් නොපෙනේ. විදුලිබල මණ්ඩලයේ පාඩුව තවදුරටත් එහෙම ම ය. පාර්ලිමේන්තුව තුළදී විදුලිබල ඇමැති සමඟ මරා ගැනීමට විපක්‍ෂයේ මන්ත්‍රීවරු හත්අට දෙනෙක් හැමදාම ලෑස්ති වෙති.

ලංකාවේ විදුලිබල පරිභෝජනය ඉතා ඉහළ බව අපි පිළිගනිමු. එසේම ජල විදුලිබලයෙන් තවදුරටත් කළ හැකි දෙයක් නැති බවත්, රටේ දෛනික කටයුතු සඳහා ඉන්ධන විදුලිය විශාල වශයෙන් අවශ්‍ය වන බවත් අපි දනිමු. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ද ඉහළ යමින් පවතී. ඊශ්‍රායලය සහ පලස්තීනය මිනී මරාගැනීම හේතුවෙන් ලෝකයේ තියෙන බලවත් රටවල් දෙකට බෙදී පෙර කී රටවල් දෙකේ සපෝට් එකට එන්නට පටන් ගත්තොත් එවැනි යුද තත්ත්වයක් තුළ තෙල් ප්‍රවාහනය කිරීම කිසිසේත්ම සිදුවන්නේ නැත. එවිට තෙල් මිල ඉහළ යනවා පමණක් නොව තෙල් බිඳුවක්වත් නැතිව සිටීමට අපට සිදුවනවා ඇත. මේ සියලු කරුණු අස්සේ ආණ්ඩුව විදුලි බිල වැඩි කළහොත් රටේ කර්මාන්ත සියල්ලම නැවත කඩාවැටීමට ඉඩ තිබේ.

ගෝඨාභයගේ කාලයේදී කරන්ට් කැපිල්ල නිසා රටෙන් භාගයක කර්මාන්ත බිමට සමතලා විය. ඒ නිසා විදුලිබිල යළි නැග්ගොත් වැඩේ අල වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment