‘වැදුණ වැදිල්ලක් මහත්තයෝ මේ පාර නම් මැද පොල්ලම ගැලවෙන්න. කොරෝනා පළමුවෙනි රැල්ලෙන් වත් මෙහෙම වුණේ නැහැ අපට.’

විකට් පොලු ගැලවෙන්නම වැදුණු පොකට් ගහන රස්සාව

වම් අතේ යට බාහුවේ එල්ලා සිටි කපුරු බෝල වැල දකුණතට මාරු කරමින් මෙලෙස මා සමග කතාවට එළැඹුණේ පරණවාඩියේ මල්ටිබැරල් හෙවත් වාසි සමන්තයි. නිතර නිතර කොළඹ අවට දී දකින ඔහුව මට ඊයේ හමුවුණේ පිටකොටුවේ දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට බස් නැවතුමේදී ය. ඔහු දැන් බස්වලට නැඟ මගීන්ට කපුරුබෝල හඳුන්කූරු විකුණයි.

මරදානේ උපන් මරදානේම හැදුණු වැඩුණු සමන්තට මල්ටිබැරල් කියා කියන්නේ ඇයි දැයි මා නොදනිතත් වාසි සමන්ත යනුවෙන් සමාජයේ ඔහුව හඳුන්වන්නේ ඔහු උපන්ගෙයි පික්පොකට් කාරයෙක් නිසා බව දනිමි. වාසි ගහනවා යනුවෙන් හැඳින්වෙන්නේ ද පික්පොකට් ගැහිල්ලට හෙවත් ගැට කපනවාට බව ඔබ දන්නාවා ඇතැයි සිතමි.

මහ මාර්ගෙ වැඩ

පාර අල්ලනවා, පුලිය තියනවා, ඇඟිලි දෙකේ සූදුව, බස් එකේ සෙල්ලම, මහමාර්ගෙ වැඩ කිරීම වැනි යෙදුම්වලින් හැඳින්වෙන්නේ ද මේ ගැටකපන රස්සාවයි.

‘ ඒ මොකද අප්පේ එහෙම මැද පොල්ලම යන්න වැදුනේ …? කියා මම ඔහුගෙන් පෙරලා ඇසූවිට ඔහු කියන්නට වූයේ රටේ පවතින තත්ත්වය නිසා

ගැටකපන රස්සාව කරගන්නට නොහැකිව නන්නත්තාරවී සිටින බවයි. සමන්ත කියන පරිදි ඔහුට පමණක් නොව, ගැට කැපීම වැනි අවර රැකියාවල නියුතු තවත් බොහෝ දෙනෙක් පමණක් නොව, සාධාරණව හරිහම්බ කරන් කන අයට ද මෙම තත්ත්වය උදාවී ඇති බවකි.

‘ කාරණා දෙකක් නිසා අපට දැන් හරිහමන් ආදායමක් නෑ. ඒකට මූලික හේතුව මිනිස්සු අතේ සල්ලි නැතිකම. රටේ පවතින ආර්ථික අවපාතය සහ උද්දමනය අපි ඔක්කොටම තදින්ම බලපාලා තියෙන්නෙ.

සමන්ත රටේ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය විග්‍රහ කරන්නේ විපක්‍ෂයේ සිට මොර ගහන අර්ථපති ආචාර්ය හර්ෂටත් වඩා හැඟීම්බරව බව මට සිතේ.

“බලාගෙන ගියා ම සමන්තත් ආර්ථික ඔස්තාර් කෙනෙක්නෙ”

මම තවත් ඔහුට දිරි දුනිමි.

ඔක්කොම නන්නත්තාරයි.

ඔව් මහත්තයෝ… පොකට් ගැහැව්වට අපිත් මිනිස්සුනේ. අපිත් කන්න බොන්න එපායැ. අපි විතරක් නොවේ, කඩ සාප්පුවලට ගිහින් සාම්බු සහන කොල්ලො සෙට් එක කැෂියර්ල අන්දල අල්ලේ වාසි ගහන සෙට් එක මීමැස්මොරේ, වලිප්පුව, අඩ්ඩඩ්ඩාව වගේ ලෙඩ අරන් පාරේ සෙම පෙරන් වැටිල මරිසියෙන් කීයක් හරි ගලව ගන්න රස්සාව වාහනේකට බලෙන් හැප්පිලා බොරු සද්දයක් දාල ලේ පෙන්නල සල්ලි කපා ගන්න එක ඔක්කොම නන්නත්තාරයි. පාරේ යන එකෙක් ගාවවත් සල්ලි නෑ. මිනිස්සුත් නන්නත්තාරයි.

ගැට කපන්නන් කියන පරිදි ඔවුන් කරන්නේ ද රස්සාවකි. නමුත් එය නීතිවිරෝධී බව උන් දනී. ගැට කපන්නන් හෙවත් පොකැට් කාරයන් ගැන අප හොඳ විමසිල්ලෙන් සිටිය යුතුය. මන්ද උන් කොයි වෙලාවක හෝ ඔබේ මගේ සාක්කුවට විදිනු නො අනුමාන නිසාය.

යුක්තියත් අපේ බඩටයි රටේ ආර්ථික තත්ත්වය පමණක් නොව, පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලන යුක්තිය මෙහෙයුම නිසා ද ගැට කැපීම සහ බොරු කියා මිනිසුන් රවටා සල්ලි කඩා ගැනීම වැනි කූට වැඩ බොහෝ දුරට නැවතී ඇති බව සමාජය තුළ අද පෙනෙන්නට ඇති ධනාත්මක ලකුණකි. පොකට්කරුවන් වැනි ජල්තරකාරයන් කීයක් හරි හොයා ගන්නට පාරට බහින්නේ සහ බසයකට නඟින්නේත් බොහෝ කල්පනා වෙනි.

යුක්තිය මෙහෙයුම නිසා මහ මඟ මංකොල්ල මෝටර් බයිසිකල්වලින් ගොස් චේන් කැඩීම, කාන්තා අත් බෑග් උදුරාගෙන යෑම බොරුවට වාහනවල හැප්පී රියැදුරා බය කළ කප්පම් ගැනීම වැනි අවර ක්‍රියා ද බොහෝ දුරට අඩුවී ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙයි.

කර්මය ක්‍රියාත්මකයි

මෑතකදී වත්තල සිරිල් මා දකින්නේ මහරගම පිළිකා රෝහල ඉදිරිපිට දීය. එදා ජැණ්ඩියට හැඳ පැලඳ බස් රථවලට ගොඩවූ සිරිල් අද ඇවිදින මළ මිනියක් මෙනි. ශරීරය පුරා ඔඩු දුවන ලද කිසිදා සුවකළ නොහැකි පිළිකාවකින් ඔහු අද පීඩා විඳීයි. හරියට වචනයක් දෙකක් වත් මුඛයෙන් පිටකළ නොහැකි ඔහු දෙස බලන ඔහු ගැන දන්නා ඕනෑම අයෙකුට දිට්ඨ ධම්ම වේදනීය කර්මය සිහියට එයි.

මා මිතුරු මානෙල් ධර්මකීර්ති නිතර කියන Karma is a bitch (කර්මය කියන්නේ වල් බැල්ලියක්) කියන කතාව මට ඔප්පු කරන්නේ සිරිල් වැනිවුන් දකිද්දීය., මං කරල තියෙන පාපකර්මවලට මම මේ ගෙවනව මදි බොසා. අද හෙට දවසක මම වහ ටිකක් බීල මැරෙනවා මට පටිසන් දුන්නෙ මං කරපු පාපකර්මවලට තමයි,

සිරිල් එසේ කියද්දී මට එයට දින කිපයකට පසු බොරැල්ල කොටුව බස් රියකින් බසිද්දී වාසි හුසේන් හමුවිය. කොළඹ ජීවත්වන බොහෝ මුස්ලිම්වරු කතා කරන හ’යන්නට අ’යන්න කියන හු’යන්නට උ’යන්න කියන උච්චාරණයෙන් ඔහු කීවේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.

ඒ ’උඹ තාම පරණ රස්සාව ද කරන්නෙ’ කියා මා ඇසූ පසුවයි.

“ලොක්කා අපි ඉතින් වෙන මොනාද දන්නේ. ඔපිස් වල ලියන්න ද උසාවියේ නඩු අහන්න ද ගැරේජ්වල ඇණ අයි කරන්න ද අවුරුදු තියක් තිස්සෙ කරගෙන ආපු ඇඟිලි දෙකේ රස්සාව තාම ලස්සනට ඒ වගේම කරගෙන යනව. ඉඳල හිටල හව් වෙනව තමයි ඒත් දවස් දාඅතරක් ඇතුළෙ ඉඳල ඇපයක් ඉල්ලගෙන එළියට එනව. එනගමන්ම කාගෙන් හරි පාරක් අල්ලගෙන ගාණක් ඔයාගන්නව ආයෙත් ඉතින් මහ මාර්ගෙ වැඩට බයිනව. මේකෙන් එයා වෙන ලෝකයක් අපට නැහැ. අනික කවදාවක්වක් පොකට් නඩුවක් ඔප්පුවෙන්නෙ නැති නිසා අච්චුකන්න වෙන්නෙම නැහැ.”

අපි මිනී මරන්නෙ නැහැ. කුඩු විකුනන්නෙ නැහැ. දූෂණය කොරන්නෙ නැහැ. ඇති තැනින් නැති තැනට සල්ලි ට්‍රාන්සර් කරගන්නවා එච්චරයි.

මේ හුසේන් තම රස්සාව ගැන දරන මතයයි. ඒ කියන්නේ ඔහු තවම මට්ටු වී නොමැති බවයි.

මට හමුවූ තෙවැන්නා මට්ටක්කුලියේ දහනවයේ සරත්ය. ඔහුට දහනවය කියා කියන්නේ ඔහුට ඇත්තේ ඇඟිලි දහනවයක් පමණක් නිසා ය. එය ඔහුට කලකට පෙර පොලිසිය විසින් දෙන ලද අපරාධ ලෝකයේ බෞතීස්ම නාමයයි. මට දහනවය හමුවන්නේ කොළඹ බන්ධනාගාරයක සිරබත් විඳිමින් සිටිද්දීය. පොකට් ගැසීමට ගොස් අසුවීම නිසා ඔහු අද බන්ධනාගාරගතව ඇත. සරත් සමග මදක් මම කතා කළ අතර පරණ ආකල්ප තවමත් වෙනස් වී ඇති බවක් මට නොතේරුණි.

බාස් සහ නාවාඩිය

අද වැඩියෙන්ම කෙරෙන්නේ තනි තනියම ගොස් පොදු ප්‍රවාහන සේවාවලට ගොඩවී ගැට කැපීම වුවද එදා කලේ දෙන්න දෙන්නා ගොස් බස් රියට හෝ දුම්රියට නැඟ ගැට කපන ක්‍රමයකි. මෙසේ යන දෙන්නාගෙන් වැඩකරුට කියන්නේ බාස් කියා ය. ඔහුගේ කාර්යභාරය වන්නේ ගෝලයා විසින් සකසා දෙන පසුබිමේ සිට ඉතා සූක්ෂමව පසුම්බියට විදීමයි. යම් හෙයකින් අහුවුවහොත් නඩුවට නඟින්නේ ඔහුය.

බාස්ගේ උපකාරයට යන ගෝලයාට කියන්නේ නාඩාඩිය කියා ය. නාඩාඩියේ කාරිය වන්නේ බාස්ට ලේසි වන ලෙස මගීන්ව තෙරපා බසයේ ඉඩ අහුරා හෝ කවර් කර මුදල් පසුම්බියේ හිමිකරුව ස්ථානගත කර මනා සහයක් ලබාදීමයි.

එසේම යම් හෙයකින් බාස් පොලිසියට හෝ වෙනත් අයෙකුට කොටු වුවහොත් වහාම ගොස් අදාළ අයට කීමටත් මුදල් සොයා ඇප තැබීමටත් පොලිස් කුඩුවට හෝ රිමාන්ඩ් එකට බලන්නට ඒමත් නාවාඩියාගේ රාජකාරියයි.

නාවාඩි වෙනුවට වඩිය

දැන් දැන් දක්ෂ බාස්ලා නාඩාඩියක් අරන් යන්නේ නැත. ඒ වෙනුයට ඔහු වඩියක් රැගෙන යයි. වඩිය යනු කරාගේ මුහුණ හෝ බලන් ඉන්න අනික් අයගේ ඇස් වසන අප්‍රාණික වස්තුවකි. එය සමහරවිට තරමක දිනපොතකි. නැත්නම් හතරට නමන ලද පුවත් පතකි. එසේත් නැත්නම් සඟරාවකි. මේ මොකුත්ම නැත්නම් ඇතුළේ මුකුත්ම නැති දිග අතට නමන ලද කළු පැහැති ටි්‍යුලිප් බෑගයකි. කැඩුණු හෝ මදය නැති පිටතින් ලස්සනට පෙනෙන ටැබ් එකක් හෝ ස්මාර්ට් ෆෝන් එකක් වඩියට ගන්නා ගැට කපන්නෝ ද සිටිති.

කොටහ සහ ඇස් කුලී සාමාන්‍යයෙන් බාස්ලා දෙන්නෙක් එක වර බසයකට නඟින්නේ නැත. යම් හෙයකින් නොදැන නැග්ගොත් පසුව නැග්ග එකා හෙමීට ඊළඟ නැවතුමෙන් බැස වෙනත් බසයකට නඟියි. මෙය පොකට් ලෝකයේ නොලියවුණු ව්‍යවස්ථාවලියේ ආචාරධර්ම පද්ධතියේ එක් පනතකි. එසේ ම බාසෙක් පාරක් අල්ලනු (පාරක් අල්ලනවා යනු පසුම්බියකට පහර දීමයි) තවත් බාසෙක් දැක්කොත් ඔහුට ඇස් කුලී වශයෙන් මුළු මුදලින් සියයට හතළිහක කොමිස් මුදලක් ඉල්ලා සිටිය හැක. වැඩ්ඩෙකු හැර නාවාඩියෙක් හෝ ගෝලයෙක් මෙය දැක්කා නම් ඔහුට අයිති සියයට විස්සක ඇස් කුලියක් පමණි. මෙම නීතිය දන්නා පොකට් කාරයන් කරන්නේ බසයකට නැඟ ගැට කපනු වෙනුවට පාරක් අල්ලන අයෙක් දෙස විමසිල්ලෙන් දිහා බලන් ඉඳ ඔහුත් සමග බසයෙන් බැස ඔහුගෙන් සියයට හතළිහේ ඇස් කුලිය ලබාගැනීමයි.

සමහර කොන්දලාත් සපෝර්ට් ද?

තම තමන්ගේ පර්ස් පරිස්සම් කරගන්න පොකට් කාරයෝ ඉන්න පුළුවන් ,

බස් රියේ කොන්දොස්තර කොල්ලා මෙසේ කෑගසනු ඔබ අසා ඇතුවාට සැක නැත. බොහෝවිට ඔවුන් මෙසේ කෑගසන්නේ ගැට කපන්නනෙක් බසයට නැඟ පාරක් අල්ලා වැඩක් කරගෙන බැස ගියාට පසුවයි. පොකට්කරුවා බස් රියේ සිටිද්දී ඒ බව කියන්නට හෝ අඟවන්නට බොහෝ කොන්දොස්තරවරු අකමැතිය, නොහොත් බයක් දක්වයි. ඒ ගැට කපන්නා අත ඇති දැලිපිහියෙන් හෝ බ්ලේඩ් තලයෙන් තමාගේ පිටේ හෝ තට්ටමේ ඉරක් අඳිනු ඇතැයි යන සැකය නිසාය. තවත් සමහර කොන්දොස්තරලා එසේ දැක්කත් නොදැක්කාසේ ඉන්නේ තමන්ටත් පසු වෙලාවක පොඩි කොමිස් මුදලක් ලැබෙන නිසාය.

බස්රියේ හෝ දුම්රියේ යන සාමන්‍ය මගී ජනතාව නොහඳුනත් බස් රියැදුරන් කොන්දොස්තරවරුන් සහ අපරාධ අංශවල වැඩ කරන පොලිස් මේ ගැටකපන්නන්ව හොඳින් අඳුනයි. බස්නැවතුමක සිට බසයට අත දමන පොකට්කරුවෙකු ඈත සිට ම දකින රියැදුරා කොතරම් සෙනඟ හිටියක් රථය එම නැවතුමේ නොනවත්වා ගහගෙන ඉදිරියට ඇදෙන්නේ ඔවුන් තම බසයට නඟ්ගවා ගැනීමට අකමැති නිසාය.

ගැට කපන සමය

සාමන්‍යයෙන් ගැටකපන්නන් වැඩිපුර ම එළි බහින්නේ උත්සව සමයටයි. ඒ මිනිසුන් අතර මුදල් ගැවසෙන බව දන්නා නිසා ය. ඒ නිසා අප්‍රේල් අවුරුද්දට වෙසක් කාලයට නත්තලට සහ ජනේරුවට පොලිසියේ මහත්තුරු කරන්නේ මඟ රැක සිට තමන් දන්නා අඳුනන නම් දරාපු ගැටකපන්නන් අල්ලා උසාවි දමා අයාලේ යෑම සහ පාදඩ නීතියට අනුව රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමය.ි වෙසක් කාලයට අනුරාධපුරේ යෑමටත් පොසොන් කාලයට මිහින්තලේ යෑමටත් දළදා පෙරහැර සමයට මහනුවර යෑමටත් ජනවාරි මාසයට ශ්‍රී පාදය වඳින්න යෑමටත් පූජා කාලයට කතරගං යන්නටත් මේ පොකට් කාරයන් දක්වන්නේ නොතිත් ආසාවකි. ඒ එහි එන සෙනඟ කන්දරාව නිසා බව අමුතුවෙන නොකිවමනා ය.

පොලිස් පූජා

සාමාන්‍යයෙන් ඕනෑම පොලිසියක අලවා ඇති අපරාධකරුවන්ගේ සොරුන්ගේ මුහුණු සහිත දැන්වීම් පුවරුවල පළාතේ නම ගිය ගැට කපන්නන්ගේ උඩුකය ඡායාරූප ද දකින්නට ඇත. ඉස්සර නම් මෙම ඡායාරූප ගනු ලැබුවේ බොරැල්ලේ ග්‍රෙගරි පාරේ පිහිටි අපරාධ පරීක්‍ෂණ මූලස්ථානයට ඔවුන්ව, ලයින් අප්, සඳහා රැගෙන එන කල්හිය. මෙම කාර්යාලයට අල්ලපු වැටේ අපේ පාසලත් මා උගත් පන්තිය එම තාප්පය අයිනේමත් පිහිටා තිබුණු නිසා අපි තාප්පයෙන් පැන එහි ගොස් අපරාධ විමර්ශන කටයුතු කෙරෙන ආකාරය හොරෙන් විමර්ශනය කරන්නට සමහරවිට පුරුදුවී සිටියෙමු. එකල එහි රැකියාව කළ තරුණ එස්. අයි. මහතෙකු අපට ඒ සඳහා රහසේ ඉඩ දුන්නා මතකය.

එම සිටින නිලධාරීන් එහි රැගෙන එන සැකකරුවන්ගේ ප්‍රශ්න අසමින් එක එක ජාතියේ දඬුවම් දෙනු අප දැක ඇත. අන්තිම දරුණු පනිශ්මන්ට් එක ලැබෙන්නේ ගැටකපා අසුවී එහි ගේන අයටයි. ඔවුන්ගේ දෑත් පයින් පාගනු ඇඟිලි මතට ගල් පතිත කරනු බෝංචි කරල් මෙන් අතැඟිලි දෙකට කඩනු මම සියැසින්ම දැක ඇත්තෙමි.

බහුතරයක් ගැටකපන්නන්ගේ ඇඟිලි ඇදවී ඇත්තේ මේ නිසාය. එසේම බොහෝ පොකට් කරුවන්ගේ ඉදිරිපස වහලු දෙකේම දත් අඩුය නොහොත් නැත්තටම නැත. සමහර බොරු දත් කුට්ටමක් පලඳීයි. මෙසේ වන්නට හේතුව බස් පෝරියල් සමාජ පෝරියල් හෝ පොලිස් පෝරියල්වලට ලක්වීම නිසාය.

ඇදිහිලි සහ ක්‍රමවේද

ගැට කපන්නන් අතර විවිධ මත විශ්වාස පවතී. කොළඹ නගරය ආශ්‍රීතව වෙසෙන ගැට කපන්නන් බහුතරයක් තමා ආරක්‍ෂා කරදෙන ලෙස ඉල්ලා බාර වීමට සෑම අඟහරුවාදාම කොච්චිකඩේ පල්ලි යයි. එසේම බාර හාර වීමට පිල්ලෑවේ පන්සලට යයි. නවගම්පුරට ගොස් බෝධිය නාවයි. කාලිඅම්මාන් කදිරේශන් හෝ රෙදිමෝලේ මයුරපාද කෝවිලේ විභූති ගාගෙන පොල් ගසයි.

වැල්ලම්පිටියේ චූටියා උදේට වැඩට යන්නට ඉස්සර තම බිරිඳ දිය පිරුණු කළයක් උකුලේ තබාගෙන තමා ඉදිරියට ලැසි ගමනින් ආ යුතුය. නැත්නම් එදාට මුළු මුඩුක්කු පෙළට ම ඇහෙන්නට ඔහු කෑ ගසමින් තම බිරිඳට පහර දෙයි. ඔහු සිතන්නේ හොඳ වාසියක් ඇති පොකට් එකක් ගසන්නට නම් උදේට හොඳ දෙයක් මුලිච්චි විය යුතු බවයි.

කලිසම් ඉණේ ඇති හොර පොකට් එකේ සඟවා ඇති හීනියට රෝල් කරන ලද මුදල් නෝට්ටුවලට විදීමට පවා දක්‍ෂ ගැට කපන්නන් ගැට කපන්නියන් අප රටේ සිටියහ. කළුබෝවිල නාලිනි ඉන් එකියකි. ඇය ගැට කැපීමට පෙර පුරු පුරු ගාන පූසියක මෙන් කර වටේ දැවටී ඔහුව හොල්මන් කර දැපනේ දාගනී. ඉන්පසු ඔහුට නොදැනී ඔහුව ගානට බස්රියේදීම සුද්ධ කරයි.

වේරහැර ලකියා බස්රියට නඟින්නේ හොඳට ඉස්තිරික්ක කරන ලද ඇඳුම් ජැන්ඩියට ඇඳ වතුරේ දමන ලද ඉමිටේෂන් මාල, බේස්කට් පැලඳගෙන සුවඳ හමන්නට විලවුන් වත්සුණු ආදිය ද තවරා ගෙනය. අපි ඔහු කියන දේ ඔහුගේ වචනයෙන්ම අසමු

,අපි යන විදියට ගියා ම මාර ලේසියි. මහත්තුරු නෝනල කිසි බයක් නැතිව අපිට ලංවෙනව. සමහරු තුරුලටත් එනව. වෙලාව බලල අවධානය වෙන පැත්තකට ගිය ගමන් මම ක්‍රියාත්මක වෙනව. කරා මොන තරම් හැදුවත් තමන්ගේ සල්ලි ටික පරිස්සම් කරගන්න. අපි ඊට වඩා සූක්‍ෂම වෙන්න ඕනි, පොලිස් මහතුන් යනු එවකට හිටි හොඳ වැඩ්ඩෙකි. පාරක් අල්ලන්නට ගොස් වැරදි ගුටිකෑමෙන්ම මිය ගිය ඔහු නිතර ඇන්දේ හැසිරුණේ පොලිස් නිලධාරියෙකු ලෙසිනි. කොණ්ඩය කොටට කපා, කාකි කලිසම් ඇඳ නයිලෝන් ටීෂර්ට් එකකින් උඩු කය සරසන ඔහු ගැට කපන්නෙකු ලෙස නොදනික නිසා තම කාරිය පහසුවෙන් කර ගනී.

නාරහේන්පිට අජන්ත දෙයියෝ බුදුන් සිහිකර පාරක් අල්ලන්නට බසයකට නඟිද්දී ඔහු යන බසය පිටුපසින් ඔහුගේම ත්‍රීවිලරය පැදගෙන එන්නේ ඔහුගේ සහායක අතුලයි. පාර ඇල්ලු සැණින් බසයෙන් බසින අජන්ත පසුපසින් එන ත්‍රීවිලරයට නැඟී අතුරුදහන් වෙයි.

පොකට් කලාව ගැන විමර්ශනය කරනු පිණිස මමත් කීපවතාවක් ගැට කපන්නෙකු සමග නාවාඩිය ලෙස කටයුතු කර ඇත්තෙමි. ඇත්තෙන්ම එය ලොමු දැහැගන්වන ක්‍රියාවකි. මගේ බාස් වූ මිරිහානේ වික්‍රම රුපියල් අටසීයක් සහිත පසුම්බියකට පහර දුන් අතර මම (කරා) එය අයිතිකරු වෙත ගොස් එය ඔහුට භාර දුන් කල්හි හොඳහැටි බැනුම් ඇසූ අයුරු මට තාම මතකය. ඒ මීට අවුරුදු තිහකට පමණ ඉස්සරය.

ජාත්‍යන්තර වාසි කාරයෝ

අප රටේ බස් රියේ සහ දුම්රියේ පමණක් පොකට් ගැසුව ද ලෝකයේ දියුණු සහ කාර්යබහුල ගුවන් තොටුපළවල ද අනන්තවත් පොකට්කරුවන් තම රස්සාව කරගෙන යයි. ඔවුන් සුලු මුදලක් දී ඩොමෙස්ටික් (ස්වදේශීය හෝ අභ්‍යන්තර) ගුවන් ගමන් ප්‍රවේශපත්‍රයක් මිලට ගෙන ජාත්‍යන්තර ගුවන් තොටට රිංගා ධනවතුන් යන ප්‍රභූ පන්තියේ පොලිම්වල රැඳී කෙසේ හෝ ලක්‍ෂ කෝටි ගණන්වල පාරවල් අල්ලති. මෙය සමහරුන්ගේ රස්සාවයි. ඔවුන් තම රස්සාවට බහින්නේ ටයි කෝට් ඇඳ බ්‍රීෆ් කේස් හෝ ලැප්ටොප් අත දරා ධන කුවේරයෙකුගේ වේශයෙන් නිසා මේ හොරෙක් පොකට් කාරයෙක් කියා මගීන්ට ද හඳුනාගැනීමට අසීරුය.

නමුත් සමහර රටවල ගුවන් තොටුපළවල් හි ප්‍රසිද්ධ තැන්වල මොහු භයානක ගැට කපන්නෙකි. ඔහුගෙන් ප්‍රවේශම් වන්න කියා බාස්ගේ රූපයක් ද සහිතව ප්‍රදර්ශනය කර තිබෙනවා මම දැක ඇත්තෙමි.

කෙසේ වෙතත් පොකට් ගැසීම යනු මෙලොව ඇති අන්තිම නරක ක්‍රියාවලියක් බව මම පෞද්ගලිකව විශ්වාස කරමි. එහි ප්‍රතිඵලය ඉතා භයානක අතර ඇස් පනා පිටම විපාක දෙයි. ගැට කපන්නන් ගැන මගී ජනතාව මීට වඩා දැනුවත් වී තම අවධානය තම මුදල් පසුම්බිය වෙත යොමු කරන්නේ නම් වාසිකාරයාගේ වින්දිතයෙක් වීම අවම කර ගතහැකි වනු ඇත.

මිත්‍ර ශ්‍රී කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment