විකිණීමට සහ බද්දට එරෙහි අන්තිම තුරුම්පුව තව සති දෙකකින්

49

රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව හා ආදායම් බදු හා ජීවන වියදම පහත හෙළීම ආදී කරුණු කිහිපයක් මුල්කරගෙන ඉදිරි සති දෙකෙන් පසුව ‘අන්තිම තුරුම්පුව’ ගැසීමට වෘත්තීය සමිති නායකයන් තීරණය කර ඇත.

මේ වන විට වෘත්තීය සමිති හා ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කරන සියලුදෙනාට එරෙහිව නව නීති ගෙන එමින් මර්දනයක් ආරම්භ කර තිබෙන බව ද, ආණ්ඩුවට තව ලබා දෙන්නේ සති දෙකක් පමණක් බව ද වෘත්තීය සමිති නායකයෝ පවසති.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ කමිටු සාමාජික එස්. පී. විතානගේ මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ ‘අන්තිම තුරුම්පුව’ ගැසීමට පෙර ඒ පිළිබඳ වෘත්තීය සමිති අතර තීරණාත්මක සාකච්ඡා සිදුවන බවය.

වෘත්තීය සමිති ව්‍යාපාර තුළ අන්තිම සටන වැඩ වර්ජන බවත්, පසුගිය 15 වැනිදා එක්දින වැඩ වර්ජනයක් කර ආණ්ඩුවට යම් කාලයක් ලබාදුන් බවත් ඒ මහතා කීය. මේ වන විට රටේ සමස්ත ජනතාවටම ජීවත්වීමට බැරි තරමට ජීවන වියදම ඉහළ ගොස් තිබෙන අතර එවැනි මොහොතක රාජ්‍ය ආයතන විකුණා දමමින් ආණ්ඩුව මර්දනයක් ද ක්‍රියාත්මක කර තිබෙන බවද, වෘත්තීය සමිති අන්තිම තුරුම්පුව ගැසීමේදී ජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන සිටින බව ද ඒ මහතා කීය. එනිසා ආණ්ඩුවේ මේ ක්‍රියාවලට එරෙහිව ජනතාව, දේශපාලන පක්‍ෂ හා බහුජන සංවිධාන ද එක්කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද විතානගේ මහතා කියා සිටියේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද තම වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගන්නා බව එහි සභාපති මහාචාර්ය බී. එම්. එම්. එස්. කේ. බන්නැහැක මහතා එහිදී පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment