විදුලිබල ලේකම් ඇතුළු පිරිසකට එරෙහිව මානව හිමිකම් කොමිසමෙන් පෙත්සමක් – උ.පෙළ විභාග සමයේ විදුලිය කැපීම

74

අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23 වැනිදා සිට ලබන 17 වැනිදා දක්වා රට තුළ කිසිදු ආකාරයකින් විදුලි බලය විසන්ධි කිරීමක් සිදුනොකරන ලෙසට ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (30 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින ලක්‍ෂ තුනකට අධික සිසු සිසුවියන් පිරිසකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින් එම කාලය අතරතුරදී විදුලිය විසන්ධි නොකරන ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරීන් ඇතුළු වගකිවයුතු අංශවල බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී තම කොමිෂන් සභාව ලබාදුන් නිර්දේශ කඩකිරීමෙන් වගඋත්තරකරුවන් තම කොමිෂන් සභාවේ අධිකාරියට හා ගෞරවයට හානියක් සිදුකර ඇති බවත්, කොමිෂන් සභාව එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හා එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා නම්කර තිබේ.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කොට අධිකරණයට කැඳවා ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වන ලෙසටත්, තම කොමිෂන් සභාවේ අධිකාරියට අගෞරව කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට නියෝගයක් කරනා ලෙසටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය හා සාමාජිකයන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment