විදුලි බිල වැඩි කිරීමට එරෙහිව නඩු යනවා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

77

මහජන උපයෝගිතා කොමිසම නංගි පෙන්වලා අක්කා දුන්නා

මෙම වසරේ දී තුන්වැනි වරටත් විදුලි බිල වැඩි කර ඇත්තේ ආණ්ඩුව ගත් ප්‍රතිපත්ති තීන්දුව අමුඅමුවේ උල්ලංඝනය කරමින් බවත් එම නිසා ඉදිරියේ දී අනිවාර්යෙන්ම විදුලි බිල වැඩි කිරීමට එරෙහිව නඩු පවරන බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (20දා) පැවසීය.

කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

හෙතෙම මෙසේ ද පැවසීය.

බොහොම කනගාටුයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය සම්බන්ධව. කොමිෂන් සභාව නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ වැඩක් කළේ. මහජන උපදේශනය පැවැත්වූයේ 22% කින් විදුලි බිල වැඩි කිරීමට මණ්ඩලය කළ යෝජනාව ගැනයි. ඒ ලබාදුන් දත්ත අනුවයි මහජන උපදේශනයට අපි සහභාගි වුණේ. 18% ට අදාළව ඉදිරිපත් කළ දත්ත පරිශීලනය කරන්න අපට ලැබුණේ නෑ. ඒ නිසා ඒ මහජන උපදේශනයේ වලංගුභාවයක් නෑ. ඒ නිසා 18%ක විදුලි ගාස්තු සංශෝධනයට අදාළ ව නැවත මහජන උපදේශනයක් කැඳවිය යුතුයි.

ඒ වගේම කොමිසම දන්නවා ගාස්තු වැඩි කිරීමට ඉදිරිපත් කළ සාධක 4ම කෙප්පයක් බව. මණ්ඩලය ගාස්තු වැඩි කිරීමට අදාළ සාධක ලෙස ඉදිරිපත් කළ විදුලි ඉල්ලුම බොරු, වියළි කාලගුණික තත්ත්වය බොරු. ගල් අඟුරු මිල බොරු, පාඩු ලබන බව බොරු. ඒ කියන්නේ මේ සාධක හතරම බොරු.

මෙසේ වැරදි දත්ත ඉදිරිපත් කරමින් විදුලි බිල වැඩි කිරීම වැරදියි. අපි නීතිය හමුවට යනවා. කොමිසමේ අය සූදානම් වෙන්න ජම්පරේ අඳින්න.

ඔවුන් විදුලි බිල වැඩි කරන්නේ වසරකට දෙපාරයි කියන ප්‍රතිපත්ති තීන්දුවත් කැඩුවා. නමුත් ඔවුන් පසුව පුරෝකතනය කරා වසරකට හතර පාරක් හදිසි අවශ්‍යතාවකට විදුලිබිල සංශෝධනය කරන්න පුළුවන් කියලා. එසේ සංශෝධනය කරන්න පුළුවන් වෙන්නේ මණ්ඩලය පුරෝකතනය කරපු ඇස්තමේන්තුවෙන් 25% ක වෙනසක් වුණොත් පමණයි. නමුත් මෙවර වෙනස් වෙලා තියෙන්නෙ 2.5% ක ප්‍රමාණයක් පමණයි. මෙවැනි තත්ත්වයක් යටතේ හදිසි අවශ්‍යතාවක් යැයි සඳහන් කරමින් විදුලි බිල වැඩි කරන්න කොමිෂන් සභා පනතෙන් අවසර නෑ.

ඒකක තිහ සහ හැට අතර පාවිච්චි කරන අයගේ ස්ථාවර මාසික ගාස්තුව 40% කින් වැඩි කරලා. ඒකක ගාස්තුව සීයට 20% කින් වැඩි කරල.

නීල ආර්ථිකයක් හදනවා කියපු ආණ්ඩුව ගොවියටත් විදුලි බිලෙන් පොල්ලෙන් ගහලා. කෘෂිකර්මාන්තයට අදාළ විදුලි කාණ්ඩයක් වැඩි කරලා. ඉතිං කොහෙද තිරසාර සංවර්ධනයකය යන්නේ.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර්. අතුල, බරපතළ දූෂණ වංචා කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා, නීතිඥ උපාලි රත්නායක, විදේශ හා පුනර්ජනනීය බල සත්‍ය පාරිභෝගික සංගමයේ සභාපති මහේෂ ඉලංගසිංහ යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment