විශ්‍රාම යෑමෙන් පසුත් නොමිලේ උගන්වන විලච්චියේ චන්ද්‍ර ගුණවර්ධන ගුරුතුමිය

99

ගුරු සේවය ටියුෂන් මාෆියාවට යටවෙද්දී

පවතින ටියුෂන් මාෆියාව කෙරේ යොමුවෙමින් ගුරු සේවය වෙනුවට එය වෘත්තියක් කරගත් ගුරුවරු සිටින මෙවන් යුගයක ලෝක ගුරු හා ළමා දින සැමරුම්වලින් ඔබ්බට ගොස් විශ්‍රාම යෑමෙන් පසුද වසර තුනක් තිස්සේ නොමිලේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන ගුරු මාතාවක් විලච්චිය වළගම්බාහු මහා විද්‍යාලයෙන් හමුවිය.

1961 උපත ලබා ඇති ඇය නමින් චන්ද්‍ර ගුණවර්ධන නම් වූවාය. විශ්වවිද්‍යාල උපාධිධාරිණියක වූ ඇය ඉගෙනුම ලබා ඇත්තේද වළගම්බාහු මහා විද්‍යාලයෙන් මය. සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව 83, 84 වසරවලදී උසස් පෙළ හදාරා ඇති ඇය කලා විෂය ධාරාවෙන් කැලණි විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ඇත. ඇය කිසිදා කිසිම පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගී වී නැත. කැළණිය විශ්ව විද්‍යාලයෙන් 93 වසරේ ඇය උපාධිය සම්පූර්ණ කර ඇත.

මේ සියලු අත්දැකීම් ලබා ඇත්තේ දුෂ්කර ජීවිතයක් තුළ වුවද තම ගුරුවරුන්ගේ කැපවීම මත මේ ලද ජයග්‍රහණය දැනුම නොමිලේ මිස කිසිදාක මුදලකට අලෙවි නොකරන බව ඇය සඳහන් කරන්නීය. තරග විභාගයකින් සමස්ත මිහින්තලේ මැතිවරණ කොට්ඨාසයෙන්ම වැඩිම ලකුණු ලබා ප්‍රාථමික ගුරුවරියක වශයෙන් මුලින්ම තිරප්පනේ මහානාම විද්‍යාලයට ඇතුළත් වී පයින්ඩිකුලම, ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලයටත්, නැවත තමා ඉගෙන ගත් වළගම්බා මහා විද්‍යාලයටම පත්වීම් ලබා පැමිණියාය.

පසුව පළාත් මාරුවක් ලබා බස්නාහිර පළාතට පැමිණ 2016 – 2019 දී හඳපාන්ගොඩ පාසලේ සිට අවුරුදු 58 න් ඉල්ලා අස්වී විශ්‍රාම ගොස් ඇත.

ඉතා දුෂ්කර විද්‍යාලයක් වන විලච්චියේ වළගම්බාහු විද්‍යාලය අදටත් ගුරු හිඟයක් මෙන්ම ගුරුවරු පැමිණීමට අකමැත්තක් දක්වන පාසලකි. එබැවින් දරුවන් වෙනුවෙන් අදටත් නොමිලේ උගන්වන්නේ තමා ද නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් මෙවැනි තත්ත්වයකට පැමිණි නිසා බව ඇය සඳහන් කරන්නීය. සමස්ත ගුරු පරපුරටම මේ ගුරු මව මහඟු ආදර්ශයක් සපයන බව දෙමාපියෝ මෙන්ම සිසුහුද පෙන්වා දෙති.
නොචිචියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment