පාතාලයේ නම විකුණා මොන්ටිසෝරි ටීචර්ගෙන් කප්පම් ඉල්ලූ ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට

438

තමන් පාතාල කල්ලියක සාමාජිකයකු බවට හඳුන්වා දෙමින් මරණීය තර්ජනය එල්ල කර හෝමාගම, සුවපුබුදුගම පදිංචි පෙර පාසල් ගුරුවරියකගෙන් රුපියල් ලක්‍ෂ 20 ක කප්පමක් ලබාගැනීමට තැත් කළ සුවපුබුදුගම ග්‍රාම නිලධාරිවරයා අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකය පෙරේදා සමත්විය.

සැකකරු දුරකථන මාර්ග ඔස්සේ මාස 2 ක් තිස්සේ මෙම කප්පම ඉල්ලා කරදර කර ඇතැයි හෙළි වූ බව එම ඒකකය පවසයි.

මෙම තර්ජනයන් ගැන පෙර පාසල් ගුරුවරිය හෝමාගම මූලස්ථාන පොලිසියට කීපවතාවක් ම පැමිණිලි කර ඇතත් සැකකරු කොටුකර ගැනීමට පොලිසිය අසමත් වීම හේතුවෙන් මේ ගැන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පැමිණිලි කර තිබේ.

ඒ අනුව තෙන්නකෝන් මහතා මෙම සැකකරු කොටුකර ගැනීමේ මෙහෙයුම මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකයට භාර දී ඇති අතර ඒ අනුව පැය 24 ක් යෑමට පෙර සැකකරු පෙර පාසල් ගුරුවරියගේ නිවස ආසන්නයේදී කොටුකර ගැනීමට එම ඒකකය සමත් වී ඇත.

සොයා බැලීමේදී සැකකරු ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරි බවට හෙළි වී තිබේ.

සැකකරු හා පෙර පාසල් ගුරුවරිය අතර දුරකථනයෙන් ඇති වූ සංවාදය මෙසේය.

සැකකරු – හෙලෝ…. නෝනා…. අපි මේ අර මුදල් වගයක් සම්බන්ධයෙන් මීට පෙර කතා කළේ

පෙර පාසල් ගුරුවරිය – අපි ගාව සල්ලි නැහැ. අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ.

සැකකරු – කීයක් වගේ දෙන්න පුළුවන්ද කියන්නකො

පෙර පාසල් ගුරුවරිය – මම මේ මොන්ටිසෝරියක වැඩ කරලා ඒකෙන් තමයි ළමයි තුන්දෙනා ඉස්කෝලෙ යවලා කාල බීලා ජීවත් වෙන්නේ. මහත්තයට මේ දවස්වල වැඩ නැහැ.

සැකකරු – නෝනගෙන් රුපියල් ලක්‍ෂ 10 ක් ඉල්ලුවා. ඒක ලැබුණේ නැහැ. දැන් ලක්‍ෂ 20 ක් තමයි පාතාල කණ්ඩායමෙන් ඉල්ලන්නේ. නැත්නම් වෙඩි තියන්න කියලා තියෙන්නේ. එතකොට නෝනා මොකද කරන්නේ?

පෙර පාසල් ගුරුවරිය – ඔයාට මාව මරලා දාන්න ඕනෙ නම් මරලා දාන්න.

පසුව සැකකරු රුපියල් ලක්‍ෂයක මුදලක් අදාළ ගුරුවරිය සේවය කරන පෙර පාසල අසල දැන්වීම් පුවරුවක් ආසන්නයේ තබන ලෙසට පෙර පාසල් ගුරුවරියට දුරකථන මාර්ග ඔස්සේ දැනුම් දී තිබිණි.

ඇය මේ ගැන පොලිසිය දැනුවත් කළ අතර, එහිදී ක්‍රියාත්මක වූ එම ඒකකයේ නිලධාරීන් සැකකරු මුදල ලබා ගැනීමට යතුරුපැදියකින් පැමිණි මොහොතේ කොටුකර ගෙන තිබේ.

සැකකාර ග්‍රාම නිලධාරි හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment