ජනකගෙන් කප්පම් ගත් මහ මොළකරු ‘බල්ලා’ දැලේ

148

සැකකරු අයිස් ලෝලියෙක්

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන එල්ල කරමින් රුපියල් පහළොස්ලක්‍ෂයක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘බල්ලා’ නමින් හඳුන්වන සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් පෙර්දා (11 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු ද සමඟ මේ වන විට මෙම කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටින මෙම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ සැඟවී සිටියදී ය.

ජනක රත්නායක මහතාට දුරකථන මාර්ගයෙන් මරණීය තර්ජන එල්ල කර රුපියල් පහළොස්ලක්‍ෂයක කප්පම් මුදල ලබාගෙන ඇත්තේ බල්ලා නමින් හඳුන්වන මෙම සැකකරු විසින් බව විමර්ශනවලින් හෙළි වී ඇත.

තමන් බ්ලූමෙන්ඩල් සංඛ නමැති පාතාල නායකයා බව කියමින් ජනක රත්නායක මහතාට දුරකථන ඇමතුම් ලබා දී ඇති මෙම සැකකරු රත්නායක මහතා ඝාතනයට තමන්ට රුපියල් අසූලක්‍ෂයක කොන්ත්‍රාත්තුවක් ලැබී ඇති බවත් එම ඝාතන කොන්ත්‍රාත්තුව ප්‍රතික්‍ෂේප කිරීමට නම් රුපියල් පහලොස් ලක්‍ෂයක මුදලක් ලබාදෙන ලෙසත් කියමින් තර්ජනය කර තිබේ.

එම තර්ජන හමුවේ බියට පත් වී ඇති රත්නායක මහතා එම කප්පම් මුදල ලබා දී ඇති අතර පසුව මේ පිළිබඳව පොලිස්පතිවරයාට සහ කිරුළපන පොලිසියට පැමිණිලි කර තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාසය ඊට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ නෙවිල් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් එහි ස්ථානාධිපති ඇන්සල් සිල්වා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත් රණසිංහ, උප පොලිස් පරීක්‍ෂකවරුන් වන අසංක ප්‍රසංග කොස්තාපල් (91336) ජයශාන්ත, (77161) ධර්මතිලක (104246) සුපුන් ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.
හේමන්ත රන්දුණු, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment