විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් කණ්ඩායමට එක්වෙයි

238

නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂඥ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගි කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

ඒ අනුව එක්දින තරගාවලිය සඳහා ඊයේ (20 වැනිදා) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගිය එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනා සමඟ කණ්ඩම්බි ද පිටත්ව ගියේය.

මෙතෙක් පැවැති එල්.පී.එල්. තරගාවලි ත්‍රිත්වයේදීම ජැෆ්නා කණ්ඩායම ශූරතාව දක්වා මෙහෙයවන ලද කණ්ඩම්බි ඊට අමතරව පළමු වතාවට පැවැති නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් කිරුළද කණ්ඩම්බිගේ පුහුණුකාරීත්වය යටතේ ජැෆ්නා කණ්ඩායමට ලබාදීමට සමත්විය.

“මම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතු වෙන්නේ විශේෂඥ පුහුණුකරුවකු හැටියටයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අධිකාර්ය සාධන මධ්‍යස්ථානයේ සැලසුමක් (්‍යඡක්‍) තියෙනවා පුහුණුකරුවන්ව තවදුරටත් සංවර්ධනය කරන්න. ඉතිං ඒක හින්දා මේක මට ලැබුණු අවස්ථාවක්. ඉතිං මේ සංචාරයේදී මම බලාපොරොත්තු වෙනවා මගේ තියෙන දැනුම ලබා දෙන්නට වගේම සහ තව මගේ දැනුම වර්ධනය කරගන්නටත්”, යනුවෙන් කණ්ඩම්බි සඳහන් කර සිටියේය.

දැනට නවසීලන්තයේ රැඳී සිටින ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම එක්දින තරගාවලිය සඳහා ඇතුළත්ව සිටින අතර ඉතිරි ක්‍රීඩකයෝ ඊයේ අළුයම නවසීලන්තය බලා පිටත්ව ගියහ. නායක දසුන් ශානක, වනිඳු හසරංග, චරිත් අසලංක, සදීර සමරවික්‍රම, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ෂාන් මදුශංක, පැතුම් නිස්සංක සහන් ආරච්චිගේ, නුවනිඳු ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ ඊට ඇතුළත් විය. විස්සයි – 20 කණ්ඩායම සඳහා ඇතුළත්ව සිටින කුසල් ජනිත් පෙරේරා සහ ලසිත් කෲස්පුල්ලේ එක්දින තරගාවලිය අතරතුරදී කණ්ඩායමට එක්වීමට නියමිතය.

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට අයත් තරගාවලියක් වේ. ශ්‍රී ලංකා කණ්ඩායමට සෘජුවම එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට මාර්තු 25 වැනිදා සිට ආරම්භ වන මෙම එක්දින තරගාවලියේ තරග 3 ම ජය ගැනීම අනිවාර්ය වනු ඇත.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment