ශ්‍රීපාදය වඳිමු පරිසරයත් රකිමු

141
උඳුවප් මස පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වන උතුම් ශ්‍රී පාද වන්දනා සමය නිමිත්තෙනි …

මේ උදා වූයේ සිරිපා වන්දනා සමයයි. සුපුරුදු පරිදි උඳුවප් මස පුර පසළොස්වක පොහොය දිනයෙන් ඉනික්බිති ආරම්භ වූ වන්දනා සමය ඉදිරියට තවත් මාස හයක් පුරාවට දිව විත් වෙසක් මස පුර පසළොස්වක පොහොය දිනයෙන් අවසන් වීමට නියමිතය. සමනළ කන්ද මුදුණේ පිහිටා ඇති ශ්‍රී පාද මළුව දක්වා හැටන් දෙසින්, රත්නපුරා දෙසින් සහ කුරුවිට දෙසින් දිවෙන ප්‍රධාන මං පෙත් ඔස්සේ වන්දනා කරුවන් පැමිණෙන සමය මෙසේ ආරම්භ විය. වන්දනාව සිදු වන මාස හය පුරාවට සංඛ්‍යාත්මකව නම් බැතිමතුන් ලක්ෂ 20 කට ආසන්නව පැමිණෙතැයි ගණන් බලා ඇත.

ස්වකීය ආගම් දර්ශනයන් මත පදනම්ව උතුම් වූ සිරිපතුල වැඳ නමස්කාර කර ආශිර්වාද ලබා ගන්නා අරමුණ පෙරදැරිව කරුණාවේ නිරත වන බැතිමතුන් වන්දනා සමයන් තුළ බහුලවම හමුවේ. භක්තිමත් වූ චේතනාවන් සාක්ෂාත් කර ගැනීම විනා තමන් පැමිණි පදෙස පිළිබඳව අල්ප අවධානයක් හෝ ඇතැම් වන්දනා කරුවන් වෙතින් යොමු නොවන ආකාරය සෑම වන්දනා සමයක් තුළම ඉස්මතුව පෙනේ. ඒ බවට ටොන් ගණනින් සිරිපා මං පෙත දෙපස එකතු වන දිරාපත් නොවන කුණු කඳු සාක්ෂි දරයි. රටේ සුවපත් බව රකිනා මධ්‍යම කඳුකරයේ සුවිශේෂි වූ ජෛව පද්ධති රැසකින් පිරිපුන් සමනළ කඳු පන්තියේ ඇති වටිනාකම කෙබඳුදැයි අවධාරණය කර ගනිමින් මේ උතුම් වන්දනාවේ නිරත වන්නේ නම් එය සමනළ වනපෙතේ සංරක්ෂණ කාර්යය සඳහා ඔබෙන්ද ලැබෙනා දායකත්ත්වයක් හා සමැ වන්නේය.

තෙත් කලාපයීය කඳුකර වන වැස්මකින් සහ වලාකුළු වනවැස්මකින් හෙබි වනවැස්මේ අරිද්ද, කටුකිතුල්, දොරණ, කීන, නෙලු පදුරු, බොවිටීයා, උඩවැඩියා, ඉරුරාජ, සඳරාජ, වනරාජ වැනි දුර්ලභ සහ වඳවීමේ තර්ජනයට මුහුණපා සිටිනා ශාක විශේෂයන් රැසක්ම වනපෙත තුළ ව්‍යාප්තව ඇත. ශාක විශේෂයන් අතරේ මල් පිපෙන ශාක විශේෂ 497 කට පමණ ආසන්න සංඛ්‍යාවක් වාර්තා වේ. ඉන් ශාක විශේෂ 184 කට ආසන්න සංඛ්‍යාවක් ආවේණික වන අතර ශාක ආවේණිකත්ත්වය ප්‍රතිශතයක් ලෙස සියයට 34 කට පමණ ආසන්න වෙතැයි අධ්‍යයනයන් තුළින් හෙළි වී ඇත.

මල් ලොවට නවමු වූ හැඩ රටාවන් එකතු කරමින් පුෂ්පයන් අතරේ අනන්‍යතාවක් ගොඩ නගා ගත් ශාක විශේෂයක් ලෙස නෙළු වලට හිමි වන්නේ ප්‍රමුඛ තැනකි. ශ්‍රී ලංකාව තුළ වාර්තා වන නෙළු විශේෂ 35 අතරින් සාමාජිකයන් බොහෝ දෙනෙක් සමනල වනපෙත ඇසුරේ වාර්තා වේ. නෙළු ශාක අතරට 2023 වසරේ අලුතින්ම එකතු වූ Strobilanthes sripadensis නමට සරිලන ලෙසින්ම හමු වන්නේද සමනල වනපෙත ඇසුරේය. ශාක විවිධත්ත්වය සහ සත්ත්ව විවිධත්ත්වය සාරාංශ කළ විට ශාක කුල 747ක් (ආවේණික 351), ක්ෂීරපායි විශේෂ 35 ක් (ආවේණික 10), පක්ෂි විශේෂ 162 ක් (ආවේණික 33), උරග විශේෂ 66 ක් (ආවේණික 37), උභය ජීවී විශේෂ 48 ක් (ආවේණික 42), මත්ස්‍ය විශේෂ 15 ක් (ආවේණික 08), සමනල විශේෂ 100 (ආවේණික 14), බත්කූරන් විශේෂ 46 ක් (ආවේණික 22) සහ මිරිදිය ආවේණික කකුළු විශේෂ 07 ක් වශයෙන් දළ වශයෙන් එක්තැන් කර සටහන් කළ හැකිය. ශ්‍රී ලාංකේය කඳුකර අලි පරපුරේ අවසන් වනඅලි රංචුව දිවි ගෙවන්නේත් මේ අනැගි වනබිම මත බවත් අමතක නොකළ යුතුමය.

වන්දනා සමය තුළ අනිසි මිනිස් ක්‍රියාකාරකම් විවිධ මුහුණුවරින් වනය තුළ සිදු වන බැවින්, වනපෙත සංරක්ෂණය වෙනුවෙන් අතීතයේ සිටම වැඩි අවධානය සමනළ වනපෙත වෙතට යොමු විය. නමුත් චිරාත් කාලයක සිට වනපෙත මැදින් සමනළ කන්ද මුදුන දක්වාම සිදු වූ සිරිපා කරුණාවට අවහිරතාවන් එල්ල නොවන ලෙස වනපෙත සංරක්ෂණයට අවැසි නීති පනත් කෙටුම්පත් විය. වර්ෂ 1937 දී නීති ගත වී කාලීනව සංශෝධනය වෙමින් යළිත් 2009 වසරේ අවසන් වරට සංශෝධනයට ලක් වූ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ පළමු වන කොටසේ ජාතික රක්ෂිත හා අභය භූමි යටතේ අංක 03 (3) වගන්තියට අනුව වනජීවී රක්ෂිතයක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම (දැඩි ස්වභාව රක්ෂිතයක් හැර) ඒ ආශ්‍රිත පැවැති නීතිය හෝ චාරිත්‍ර අනුව අත්කරගත් අයිතිවාසිකම් සඳහා පූර්ණ නිදහස ලබා දීම සිදු විය.

නීති සැකසී ඇත්තේ සිරිපා වනපෙත තුළින් සිදු වන සිරිපා වන්දනාව සඳහා පූර්ණ නිදහස ලැබෙන ආකාරයටය. සංවේදී වනජීවී රක්ෂිතයක් වුවද සිරිපා වන්දනාව වෙනුවෙන් වනපෙත තුළ ඉඩ කඩ වෙන් විය. එම අයිතිය නිසි ලෙස අරුත් බරව භාවිත කිරීමට ඔබ වග බලා ගත යුතුය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් වනජීවී රක්ෂිතයක් සේ ප්‍රකාශයට පත් කර ඇති සමනල අඩවියේ ආරක්ෂාව සඳහා ප්‍රධාන සිරිපා මං පෙත් දෙක වන පළාබද්දල සහ නල්ලතන්නිය කේන්ද්‍ර කර ගනිමින් වනජීවී අඩවි ආරක්ෂක කාර්යාල ද්විත්වයක් ස්ථාපිත කර ඇත්තේ සමනල අඩවිය සතු ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ ප්‍රමුඛ කාර්යය වෙනුවෙනි. සහය ලබා දීමට වන්දනා ඔබත් එකතු විය යුතුය. වන්දනා සමය යනු ඒ සඳහා ඔබට අවස්ථාව උදා වන කාලයයි.

ශ්‍රීපාදය වඳිමු පරිසරයත් රකිමු

වසරේ මාස හයක් සිරිපා වන්දනාව සඳහාත්, තවත් මාස හයක් සිරිපා වන්දනාව සිදු නොවන කාලය ලෙස හඳුන්වන සිරිපා අවාරය වෙනුවෙනුත් වෙන්ව ඇත. සිරිපා වන්දනා සමය තුළ මිනිසුන් සිරිපා කරුණාවේ නිරත වෙමින් වන බිම අපවිත්‍ර වන පසුබිමක, අවාර සමය තුළ වනපෙතට ඇද හැලෙන අනෝරා වැසි අභිමුව අපවිත්‍ර වූ වනබිම යළිත් පිරිසිදු වන්නේය යන ජන මතය වර්තමානය වන විට ජනප්‍රවාදිතයක් බවට පත්ව ඇත. “අවාරේ කියන්නේ මහා වැසි ඇද වැටෙමින් කැලේ හේදිලා – සුද්ද පවිත්‍ර වෙලා, දෙවි දේවතාවුන්නාන්සේලා සිරිපතුළ නමදින කාලයයි…” ආදී ලෙසින් මෙය ප්‍රායෝගික වූ සත්‍යයක් ලෙසටද පැරැන්නෝ මත පළ කරති.

වාර්ෂිකව මිලිමීටර් 5000 කට ආසන්න වර්ෂාපතනයකට හිමිකම් කියනා සමනළ අඩවිය තුළ ප්‍රධාන වශයෙන් වැසි චක්‍ර දෙකක් ක්‍රියාත්මක වන අතර වසරේ අග මාසයේ සිට මුල එනම් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි ක්‍රියාත්මක ඊශාන දිග මෝසමින් සහ වසරේ මැද මැයි, ජුනි, ජුලි සක්‍රීය වන නිරිත දිග මෝසම් වැසි චක්‍රයන්ගෙන් ලැබෙන වැසි දියෙන් සමනළ වනපෙත සංතෘප්ත කරයි. නිරන්තරවම වැසි දියෙන් පොහොසත් වළා කැටිති වලින් බර වූ අහස් කුසක් රජයන සමනළ වනපෙත වලාකුළු වනය ලෙසින්ද හඳුන්වයි.

වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේදී සමනළ වනපෙත විවිධ භූමිකාවන් උසුලා ඇති බවත් සටහන් කළ යුතුය. පළමුව වර්ෂ 1940 ඔක්තෝබර් මස 25 වැනි දින හෙක්ටයාර් 22379.1 ක භූමි ප්‍රමාණයක් අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් විය. ඒ හුදෙක්ම යම් සංරක්ෂණ ක්‍රියාවලියකට මේ වන බිම නතු කර ලීමේ සහ ඒ වන විටත් වනපෙතට වන්දනා නඩ වලින් සිදු වෙමින් පැවැති යම් යම් හානිකර තත්ත්වයන් යම්තාක් දුරකට හෝ මැඬපවත්වන අටියෙන්ය. යළිත් වර්ෂ 2007 සැප්තැම්බර් මස 21 වන දින සමනළ අභය භූමි සීමාවට අයත් පාරිසරික කලාපයෙන් හෙක්ටයාර් 12979 ක භූමි ප්‍රමාණයක් ඇතුළත් වන පරිදි සමනළ ස්වභාව රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම සිදු විය. මිනිසා හා ජෛව ගෝල රක්ෂිතයක් යන ගෞරව නාමයෙන් පිදුම් ලබන සමනළ වනපෙත යළිත් 2010 වසරේදී ලෝක උරුම වන බිමක් වශයෙන්ද ප්‍රකාශයට පත් කිරීම සිදු විය. මේ කවර ප්‍රකාශනයෙන් අර්ථ දැක්වුවත්, ඉන් පිළිඹිඹු වන්නේ සමනළ වනපෙත සතුව පවත්නා අනගි වූ ජෛව විවිධත්ත්වයේ නොපළ කථාවයි.

ශ්‍රීපාදය වඳිමු පරිසරයත් රකිමු

ලෝක කඳුකර දිනය යෙදී තිබුණු දෙසැම්බර් මස 11 වැනි දින තේමාව බවට පත් වූයේද “කඳුකර පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම” – (Restoring Mountain Ecosystem) යන සංකල්පයයි. ඉන් ගම්‍ය කරනුයේ කඳුකර පරිසර පද්ධති වල පැවැත්මට යම් යම් මානවීය තර්ජන එල්ල වන බව නොවන්නේද? මෙම තත්ත්වය විමසුමට බඳුන් කර, සිදු කරන්නා වූ නිසි අධ්‍යයනයකින් අනතුරුව පිළියම් සෙවිය යුතුය. මේ මොහොත තුළ පරිසරයේ පැවැත්මට හානිකර වූ යම් ක්‍රියාවක අප නිරතව සිටින්නා වූ ක්‍රියාකාරකම් අභිමුව සිදු නොවීමට අවැසි අයුරින් තම පැවැත්ම සහතික කර ගැනීමට තරමේ ශික්ෂණයක් තමන් තුළ ගොඩනගා ගත හැකි නම් උචිතම භාවිතය වන්නේද එයමය.

ආරම්භ වූ සිරිපා වන්දනා සමය තුළ වන්දනා මංපෙත දිගේ ගමන් ගන්නේ තමන් බව සිහි තබා ගනිමින්, වනයේ නොකිලිටි බවට එකදු කැළලක් හෝ තම දෑතින් සිදු නොවීමට වගබලා ගැනීම තමන් සතු වගකීමක් බවත්, එයම අනාගත පරපුර වෙත මේ අනැගි වනපෙත සුරක්ෂිතව දායාද කිරීම සඳහා තමන් අතින් ඉටු විය යුතු යුතුකමක් බවත් තරයේම සිහිතබා ගත යුතුය. සැම වන්දනා සමයක් තුළම නිරන්තරවම සිහිපත් කරනා පණිවිඩය, “කැළි කසළින් තොර නොකිලිටි වන්දනා සමයක්…’ යන්න යළි යළිත් මන්ත්‍රයක් මෙන් ජප කෙරුම වෙනුවට, තම ඇවැතුම් – පැවැතුම් පරිසර හිතකාමීව හැඩගස්සවා ගැනුමට අපි හුරු වෙමු. එවිට උතුම් ශ්‍රී පද්ම නමස්කාරයේ සැබෑ ආනිශංස හිමි බැතිමතෙක් බවට මේ වන්දනා සමය තුළ ඔබ පත් වනු නියතය.

සදමල් රශ්මී ශ්‍රී බුද්ධික

advertistmentadvertistment
advertistmentadvertistment