ශ්‍රීපාදස්ථානයේ නව ජල පොම්පාගාරයට උපකරණ ගෙන යන ගුවන් හමුදා මෙහෙයුම සාර්ථකව අවසන්

81

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ නිරත වන වන්දනාකරුවන්ට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ඉදිකරන ජල පොම්පාගාරයට අවශ්‍ය විදුලි ට්‍රාන්ස්ෆෝමරය ඇතුළු උපකරණ රැගෙන යෑම සඳහා ගුවන් හමුදාවේ අංක 06 හෙලිකොප්ටර් බලගණයට අයත් එම්.අයි. 17 හෙලිකොප්ටරයෙන් සිදු කළ මෙහෙයුම් කටයුතු ඊයේ (18) සාර්ථකව අවසන් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

ශ්‍රීපාද මාර්ගයේ සීතගඟුලේ සිට ශ්‍රීපාද උඩමළුව දක්වා ගමන් ගන්නා වන්දනාකරුවන්ට නොමිලේ පිරිසිදු පානීය ජලය ලබාදීමට ශ්‍රීපාද ස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ඉල්ලීමක් පරිදි පෞද්ගලික අංශයක් විසින් සීතගඟුලේ සිට ශ්‍රීපාද උඩ මළුව දක්වා මෙම ජල ව්‍යාපෘතිය සිදු කරනු ලබයි.

එම ජල විදුලි ව්‍යාපෘතියට අවශ්‍ය විදුලි ට්‍රාන්ස්ෆෝමර් හතරක්, ජල පොම්ප, යකඩ විදුලි කණු, විදුලි රැහැන්, සිමෙන්ති ඇතුළු උපකරණ රාශියක් නල්ලතන්නිය ක්‍රීඩාංගණයේ සිට ඉකුත් 15 දා සිට 18 දා දක්වා දින තුනක් පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගුවන් ගමන් වාර 25කදී ටොන් 25ක බරකින් යුත් භාණ්ඩ එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයෙන් ප්‍රවාහනය කළ බව ගුවන් හමුදා මාධ්‍ය අංශය කියයි. මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදා නිලධාරි 24ක්, සෙසු නිලයින් 71ක්, ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සහ සේවකයන් ඇතුළු විශාල පිරිසක් නල්ලතන්නිය පොලිසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

ලංකා විදුලි බල මණ්ඩලයේ මධ්‍යම පළාත් 02 භාර කැණීම් ඉංජිනේරු ධම්මික බණ්ඩාර මහතා කියාසිටියේ ශ්‍රීපාද මාර්ගයේ රතු අම්බලම සහ ඉදිකටුපහණ ප්‍රදේශයේ දැනට සවි කර ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමර් ධාරිතාව නව ජල ව්‍යාපෘතිය සඳහා ප්‍රමාණවත් නොවන නිසා අලුතින් ට්‍රාන්ස්ෆෝමර් කිහිපයක් සවිකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගත් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ගුවන් හමුදාව සිදු කළ මෙම මෙහෙයුම ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක විය. වින්ග් කමාන්ඩර් රසාංග විජේවර්ධන මහතා මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment