ශ්‍රී ලංකාවට තීරණාත්මක දෙවැනි තරගය අද – විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ

384

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ක්‍රියාත්මක වේ. ජීලෝන්  ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

තරගාවලිය ආරම්භ කරමින් නැමීබියාවට එරෙහිව පැවැති තරගය ලකුණු 55 කින් අනපේක්ෂිත ලෙස පරාජයට පත්වීමත් සමඟ ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාවට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තරගය මෙන්ම නෙදර්ලන්තයට එරෙහිව ලබන 20 වැනිදා පැවැත්වෙන තරගයද ජය ගැනීම ඉතා වැදගත් වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා අතර තරගයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නෙදර්ලන්තයට එරෙහිව තරගයට ක්‍රීඩා කළද එම තරගයෙන් කඩුලු 3 ක පරාජයක් ලැබීය. ඒ අනුව සුදුසුකම් ලැබීමේ වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමටද ඉදිරි තරග ජය ගැනීම වැදගත් කරුණක් බවට පත්වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේදී ජීලොන් තණතීරුව කෙරෙහි කිසිදු අවබෝධයක් නොමැතිව ක්‍රීඩා කිරීම එම තරගයේ පරාජයට බෙහෙවින් බලපෑ අතර එම තණතීරුවේ දෙවැනි තරගයට අද ක්‍රීඩා කිරීමේදී පිතිකරුවන් සහ පන්දු යවන්නන් එම වැරදි නිවැරදි කර ගත යුතුව තිබේ.

කෙසේ වෙතත් පළමු තරගය පරාජයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න අද තරගයට ක්‍රීඩා කිරීමේ සූදානම පිළිබඳ මාධ්‍ය ඉදිරියේ කියා සිටි අතර එහිදී අදහස් දක්වූ චාමික “ අපි පළමු තරගය පැරදුනා, ඒ නිසා අපි අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ තරගය හොඳට ක්‍රීඩා කළ යුතුයි. කොහොම හරි අපිට ඊළඟ මැච් දෙකම දිනන්නම වෙනවා. අපි අනිවාර්යයෙන්ම ඉදිරි තරග දෙකේදී සියයට 100 කට වඩා වැඩි උපරිමය ලබාදී ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා යැයි කියා සිටියේය.

“අපි බලන්නේ අපි සතුව ඉන්න ක්‍රීඩකයන් ගැන. මේ වන තෙක් ක්‍රීඩා කළ කණ්ඩායම් හතරම හොඳින් ක්‍රීඩා කළා. එක්සත් අරාබි එමීර් සහ නෙදර්ලන්තය අතර තිබුණු තරගයත් අවසන් පන්දුවේදී අවසන් වුණේ. අපි දන්නේ නෑ මොකක් වෙයිද කියලා. මෙම ක්‍රීඩාව හැම විටම වෙනස්ම දේවල් වන ක්‍රීඩාවක්. ඒ නිසා ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. අපි බලමු” යැයි චාමික සඳහන් කර සිටියේය.

සුදුසුකම් ලැබීමේ වටයේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මේ වනවිට නැමීබියානු කණ්ඩායම සමත් වී සිටී. ඒ ප්‍රසාද ලකුණු 2ක් සමගිනි. නෙදර්ලන්තය එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන්ද ප්‍රසාද ලකුණු දෙකක් ලබා ලකුණු ලබා ගැනීමේ වේගය අනුව දෙවැනි ස්ථානයට පත්ව තිබේ. පළමු තරගය පරාජයට පත්වුවද ලකුණු ලබා ගැනීමේ වේගය අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය තෙවැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව අවසන් ස්ථානයට පත්ව තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අද තරගය ජය ගැනීම අනිවාර්ය කරුණක් වනවා සේම පවතින කාලගුණ තත්ත්වය අනුව ක්‍රීඩාංගණයට වර්ෂාවෙන් බාධා වී අද තරගය අත්හැර දැමීමට සිදුවුවහොත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා බලාපොරොත්තු අතහැර ගැනීමට සිදුව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම: පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක) වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ප්‍රමෝද් මධුශාන්, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ

එක්සත් අරාබි එමිර් කණ්ඩායම – චිරාග් සූරි, මුහම්මද් වසීම්, කෂීෆ් ඩවුඩ්, ව්රිටියා අර්වින්ද්, සවාර් ෆරීඩ්, බැසිල් හමීඩ්, චුන්දංගපොයිල් රිස්වාන් (නායක) අයන් අෆ්සාල්, කාර්තික් මෙයියප්පන්, ජුනයිඩ් සිද්දික්, සහූර් ඛාන්

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment