ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කිරිගිස්තානය පරදවා 5 වැනි තැන දිනති

153

මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය

2023 මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් අභියෝගතා ශූරතාවලියේ 05 වෙනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පස්වැනි ස්ථානය දිනා ගැනීම නිමිත්තෙන් කිරිගිස්තානය සමග පැවති තරගය තරග වට 3-0ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම ස්ථානය හිමිකර ගත්හ.

තරගාවලිය පුරාවට තරග පහකට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු තරග දෙකේදී පරාජයට පත්වූ අතර අනතුරුව පැවති තරග තුනම ජයග්‍රහණය කරමින් දස්කම් දැක්වීය.

ශ්‍රී ලංකා මෙම තරගාවලිය යටතේ මීට පෙර බංග්ලාදේශය මාලදිවයින පරාජය කිරීමට සමත් වූයේය.

කිරිගිස්තානය සමඟ පැවති තරගය ආරම්භයේ දීම ලකුණු පුවරුව සක්‍රීය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර එම වටය අවසන් ලකුණු 25-11ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.

දෙවන වටය දෙපිලටම දෝලනය වෙමින් පැවති අතර එම වටයේ එක් අවස්ථාව ලකුණු 10-07ක් ලෙස පෙරමුණේ පසු වීමට කිර්ගිස්ථාන ක්‍රීඩිකාවන් සමත් වූවත්, ඉක්මනින් නැවතත් තරගයට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි විය.

ඒ අනුව එම තරග වටය 25 -20ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වූ අතර තරගයේ තෙවැනි වටයේත් ලකුණු ලබා ගැනීම කිර්ගිස්ථාන ක්‍රීඩිකාවන් විසින් ආරම්භ කළත්, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම වටයේ දීත් ප්‍රබල දස්කම් දක්වමින් ලකුණු 25-14ක් ලෙස ජයග්‍රහණය තහවුරු කරමින් තරගාවලියේ පස්වැනි ස්ථාන දිනා ගත්තේය.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ රාත්‍රී ඉන්දියාව සහ කසකස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment